පසුගිය පාලන සමයේ හිටපු වරාය කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ඔහුගේ ධුර කාලයේ කර ඇති දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අල්ලස් කොමිසමට පිටු හයකින් යුත් ලිපියක් භාරදී තිබේ.
එහි පිටපත් ජනාධිපති විමර්ශන ඒකකය, ප්‍රවාහන අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා සියලු ජනමාධ්‍ය ඇතුළු පිරිසකට යොමුකර ඇත.
වරාය හිටපු කළමනාකාර අධ්‍යක්ෂ විසින් ඔහුට උපදෙස් ලබා ගැනීම සඳහා නිසි අනුමැතියකින් තොරව, අනීතිකව හා වංචනිකව උපදේශකයකු පත්කර ගනිමින් මසකට රුපියල් 701,948.72 මුදලක් 2024 මාර්තු මස සිට SLPMCS පුද්ගලික සමාගමට ගෙවීමට එකඟත්වය පළ කිරීම ඉන් මාස 07ක කාලය ඉල්ලීම් කළ මුදල වන රුපියල් 4,719,219.15න් රුපියල් 3,332,769.23ක් ගෙවා තිබීම ඇතුළු අනීතික බඳවා ගැනීම හා මුදල් ගෙවීම් කූට ලේඛන සකස් කිරීම හා මූල්‍ය අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු ඊට අදාළ වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද එම වෘත්තිය සමිතිය අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.
පසුගිය රජය පැවැති කාලයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා මසක් සඳහා පමණක් වරාය අධිකාරියෙන් රුපියල් 4,213,365.88ක මුදලක් තම පෞද්ගලික පරිහරණය සඳහා ලබාගෙන ඇති බව ද එහි දක්වා ඇත.
2023 ජූනි මස සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා මාස් පතා මෙලෙස මුදල් ලබා ගෙන ඇති බව ඉන් දන්වා ඇති අතර හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙලෙස විශාල මුදලක් තමන් වෙනුවෙන් භාවිත කර ඇති බවට ඔවුන් කොමිසම වෙත දන්වා ඇත.
ගත වූ කාලය තුළ මාස 11ක කාලයක් සේවය කර ඇති ඔහු සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 462ක මුදලක් වැය කර ඇති බවත් එහි දක්වා ඇත.
එම කාලය තුළ ඔහු වාහන 2ක් පරිහරණය කර ඇති අතර ඉන්ධන ගාස්තු සඳහා මසක් තුළ රුපියල් 110,904.24ක් ද ඉන්ධන ලීටර් 447.37ක් ද ලබාගෙන ඇත. මීට අමතරව වාහන කුලී නඩත්තු ගාස්තු ලෙස රුපියල් 680,900ක් ද අරක්කැමි ගාස්තු ලෙස රුපියල් 196,000ක් ද ලෙස ලබාගෙන ඇත. ඔහු භාවිත කළ විදුලි, ජල, දුරකතන බිල්පත් සඳහා ද විශාල මුදල් ලබාගෙන ඇත. එමෙන්ම ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සඳහා විශාල වැටුප් අතිකාල දීමනා ඇතුළු දීමනා ද ලබාගෙන තිබෙන බවට ඔවුන් අල්ලස් කොමිසම වෙත යොමු කළ ලිපියේ දක්වා ඇත.
ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට රුපියල් 154,553ක් අතිකාල රුපියල් 147,296, තවත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියකුට රුපියල් 153,452ක් අතිකාල රුපියල් 144,454ක් ගෙවා තිබේ.
ඔහු යටතේ රියැදුරන් තිදෙනෙක් සේවය කර ඇති අතර ඔවුන්ට වැටුප් ලෙස 144,497ක් හා අතිකාල ලෙස 131,070ක්ද, 133,741ක් අතිකාල ලෙස හා රුපියල් 98,247ක් අනෙක් රියැදුරාටද රුපියල් 152,770ක් සහ අතිකාල ලෙස 169,290ක් ද ගෙවා ඇති බව තහවුරු වී තිබේ.
එමෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම්ට රුපියල් 185,547ක් සහ අතිකාල ගාස්තු ලෙස රුපියල් 23,200ක්ද ලබාගෙන ඇති බවට ඔවුන් යොමු කළ ලිපියේ සඳහන් කර ඇත.
මෙවැනි විශාල මුදල් වැය කරමින් ඔවුන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට කළ කිසිදු සේවයක් නැති බව අවාධරණය කර ඇති වෘත්තිය සමිතිය ජාතික ජන බලවේගය පක්ෂය බලයට පත්වීමත් සමඟ මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන කළමනාකරණ අධ්‍යක්ෂකවරයා මසක් සඳහා ඉන්ධන ගාස්තු වශයෙන් රුපියල් 41,889ක ඉන්ධන ලීටර් 112.91ක් සඳහා ලබාගෙන ඇති අතර වාහන කුලී නඩත්තු සඳහා රුපියල් 50,000ක් පමණක් වැය කර ඇති බව ද ඉතා අවම මුදලක් වැය කරමින් ඔහු සිය සේවා ලබාදී ඇති බව ප්‍රශංසනීය බව ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
සුභාෂිණී සේනානායක