Home » යුක්රේනයේ සාමය වෙනුවෙන් සෙලෙන්ස්කි ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලයි

යුක්රේනයේ සාමය වෙනුවෙන් සෙලෙන්ස්කි ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලයි

by sachintha
March 27, 2025 7:16 am 0 comment

තම දේශයට සාමය උදාකර ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය එරට ශ්‍රී ලංකා තානාපතිනිය වශයෙන් යුක්රේන ජනාධිපතිවරයා හමුවී අක්තපත්‍ර ප්‍රදානය කළ අවස්ථාවේදී මෙම ඉල්ලීම කර ඇත.

එරට ජනාධිපති කාර්යාලයේ දී පැවැති මෙම හමුවේදී ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ යුක්රේනයට සාමය ගෙන ඒම සඳහා ඒකාබද්ධ උත්සාහයන් ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා තානාපතිවරිය සමඟ කළ සංවාදයේදී, යුක්රේන ජනාධිපතිවරයා, යුක්රේනය එක්සත් ජනපද නියෝජිතයන් සමඟ ඵලදායී සාකච්ඡාවල නියැළී සිටින බවත් හැකි ඉක්මනින් සාමය ළඟා කර ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් සාකච්ඡා ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට යුක්රේනය පියවර යෝජනා කර ඇති අතර, අනෙකුත් ජාතීන්ගෙන් මෙම ස්ථාවරයට සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බවද යුක්රේන ජනාධිපති කාර්යාලය පවසා ඇත.

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ අන්තර්ජාතික නීතිය මත පදනම්ව යුක්රේනයට සාධාරණ හා කල්පවතින සාමයක් ලබාගැනීමේ මාවතේ වඩාත් ක්‍රියාකාරී සහයෝගය සඳහා අපි ශ්‍රී ලංකාවට කෘතඥ වෙනවා” යනුවෙන් වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන් වෙ‍ෙළඳාම, අධ්‍යාපනය, ආහාර සුරක්ෂිතතාව සහ වෛද්‍ය පුනරුත්ථාපන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කිරීමට යුක්රේනය උනන්දු වන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

යුක්රේනයේ ජනතාවට සාමය ප්‍රාර්ථනා කරන බව ශ්‍රී ලංකා තානාපතිනිය ප්‍රාර්ථනා කර තිබේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT