යුද්ධය අතරතුර මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට බ්‍රිතාන්‍ය රජය කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බ්‍රිතාන්‍යය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එෙරහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
යුද්ධ කළේ දෙමළ ජනතාවට එරෙහිව නොව එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පමණක් බව අවධාරණය කර ඇති හිටපු ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ තමා විසින් බවත් ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එදා සිදු කළේ එම තීරණය ක්‍රියාත්මක කිරීම යැයි ද එහි සඳහන් කර තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ ලේකම්ව සිටි ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතාගේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට, දෙමළ ඡන්ද දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදිහත්වීමට උත්සාහ කළ බව විකිලික්ස් ප්‍රසිද්ධ කළ රහස් ලියවිලි උපුටා දක්වමින් ලන්ඩනයේ ටෙලිග්‍රාෆ් පුවත්පත හෙළි කළ ආකාරය ද සිහිපත් කරන ඒ මහතා අද දක්වාම, එල්.ටී.ටී.ඊයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආණ්ඩුවල ස්ථාවරය මේ ඡන්ද කුට්ටි දේශපාලනයෙන් තීරණය වෙන බව ද පෙන්වාදී ඇත.
දශක තුනක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965කගේ ජීවිත ඇතුළුව දේශපාලන නායකයන්, සිවිල් වැසියන් දහස් ගණනකට ජීවිත අහිමි විය.
එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස 2008 වර්ෂයේ නිල වශයෙන් නම් කළ සංවිධානයක් වූ එල්.ටී.ටී. ඊය පරාජය කළ අවස්ථාවේ විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වන නීතිමය පීඩාවලින් මෙරට සන්නද්ධ හමුදා ආරක්ෂා කර ගැනීමට 2021දී හා 2023දී බ්‍රිතාන්‍ය රජය විශේෂ නීති සම්පාදනය කළ බව එම නිවේදනයෙන් පෙන්වා දී ඇති හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වන තාඩන, පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි අපේක්ෂ කරන බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.
රන්මලී සෝමසිරි /මහින්ද අලුත්ගෙදර