දකුණු මුහුදේදී මත්ස්‍යයකු සපාකෑම හේතුවෙන් හදිසි අනතුරකට පත්ව තුවාල ලබා අසාධ්‍ය වූ ධීවරයකු පෙරේදා (25) ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නාවික හමුදාව කටයුතු කර තිබේ.
මෙම මාළුවා “කොප්පරා” නමැති විශාල මාළුවෙකි. එම මාළුවාගේ විශාලත්වය හේතුවෙන් ධීවර බෝට්ටුවට ගැනීමට ධීවරයාට පහසුවී නැත. එබැවින් ඔහු ධීවර බෝට්ටුවෙන් පහතට බැස මාළුවා බෝට්ටුවට ගැනීමට යාමේදී මාළුවා දැඟලීම හේතුවෙන් ධීවරයාට මෙම අනතුර සිදුව තිබේ.
කොප්පරා මාළුවාගේ කටුව විෂ සහිත බව කියවේ. එම කටු ඇනී ඇත්තේ පසුගිය 17 වැනිදා වන අතර දින කිහිපයක් ගතවීමෙන් එම මාළුවාගෙන් සිදුවූ තුවාල විෂ වීම හේතුවෙන් ධීවරයා අසාධ්‍ය තත්ත්වයට පත්වී තිබේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 326ක් (කිලෝමීටර් 603ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී මෙම අනතුර වී ඇත.
අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයා MT Gemini Pearl නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් පෙරේදා (25) හම්බන්තොට වරාය ආසන්නයට රැගෙන ඒමෙන් පසු, නාවික හමුදා යාත්‍රාවක් මඟින් එම ධීවරයාව කඩිනමින් හම්බන්තොට වරායට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
රක්ෂණ ශ්‍රියන්ත