ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්, ස්වාභාවික පරිසර හා වර්ධනය වන සංචාරක පරිසර පද්ධති අත්විඳීමට චෙක් රජයේ සංචාරකයන්ට ආරාධනා කර සිටින බව අගමැතිනි, ආචාර්ය හරිණි අමරසූරිය මෙෙණවිය පැවැසූවාය.
ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අගමැතිනි, ආචාර්ය හරිණි අමරසූරිය මෙෙණවිය අතර මාර්තු 25 වැනි දින අරලියගහ මන්දිරයේදී පෙරේදා (25) පැවැති සාකච්ඡාවේදී අගමැතිනිය මේ බව සඳහන් කළාය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය යළි අවධාරණය කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින නව ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අගමැතිවරිය පැසසුමට ලක් කළාය.
රටේ දේශපාලන ස්ථාවරත්වය සහ මහජන විශ්වාසය පිළිබිඹු කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා නව රජය දක්වන කැපවීම සහ සාමකාමී මැතිවරණ දෙකක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳවද තානාපතිනිය මෙහිදී සිය ප්‍රසාදය පළ කළාය.
රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහිද මෙම හමුව අතරතුර සාකච්ඡා වූ අතර දෙරට අතර දැනට පවතින ගිවිසුම්වල වැදගත්කම පෙන්වාදුන් තානාපතිනිය ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට තම රජයේ කැමැත්ත ප්‍රකාශ කළාය.
දෙරටේ අතර විද්‍යාව සහ අධ්‍යාපනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ අතර එයට අධ්‍යයන හුවමාරු වැඩසටහන්, පර්යේෂණ සහයෝගීතාව වර්ධනය සහ දැනුම හුවමාරු වැඩසටහන් ඇතුළත් කිරීමට අවධානය යොමු විය. අගමැතිවරිය විසින් පරිසර සංරක්ෂණය සහ නාගරික තිරසරභාවය සඳහා කැපවූ ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් වන ‘Clean Sri Lanka වැඩසටහන’ පිළිබඳව තානාපතිවරිය වෙත කරුණු ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්, ස්වාභාවික පරිසර හා වර්ධනය වන සංචාරක පරිසර පද්ධති අත්විඳීමට චෙක් රජයේ සංචාරකයන්ට ආරාධනා කළාය.
අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.එස්. ගුණරත්න යන මහත්වරුන් සහ චෙක් ජනරජ තානාපති කාර්යාලයේ නිලධාරිහු පිරිසක් සහභාගී වී සිටියහ.
නුවන් කොඩිකාර