කටුගස්තොට රණවන බෝධිමළු විහාරාධිපති හුරීගස්වැවේ චන්දරතන නාහිමියෝ ‘ධර්මකීර්ති ශ්‍රී පුඤ්ඤානන්ද’ ගෞරව නාම සහිතව සාරසියපත්තුවේ ද්විතීය සංඝනායක පදවියෙන් පිදුම් ලබති.
1970 සැප්තැම්බර් මස 04 වැනි දින උපත ලබා 1984 ජූලි මස 16 වැනි දින පැවිදි දිවියට පත් චන්දරතන නාහිමියෝ මාරතුගොඩ විදුමිණ, සඳලංකා ශාස්ත්‍රෝදය යන පිරිවෙන්හි අධ්‍යාපනය හැදැරූහ. උන්වහන්සේ විසින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සහ විද්‍යෝදය ආයතනයෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධි සම්පූර්ණ කරන ලදි. පසුව ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා මිනිපේ සිරිසඟබෝ මූලික පිරිවෙනෙහි ගුරු වෘත්තිය ඇරැඹීය.
උන්වහන්සේ 2012 සිට මේ දක්වා අලවතුගොඩ, දෙල්ගස්ගොඩ ශ්‍රී ධර්මෝදය මූලික පිරිවෙනෙහි පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් කටයුතු කරති. විහාරස්ථානයේ ශ්‍රී සුචරිතෝදය ධර්මපාඨශාලාවෙහි ප්‍රධානාචාර්ය තනතුර දරමින් දූ පුතුන්ගේ දහම් දැනුම වර්ධනය කිරීමෙහි ද නියැළේ.
ශාසනයට සහ සමාජයට කළ උත්තුංග සේවාව වෙනුවෙන් හුරීගස්වැවේ චන්දරතන නාහිමියන්ට ‘ධර්මකීර්ති ශ්‍රී පුඤ්ඤානන්ද’ ගෞරව නාමය සහිතව සාරසියපත්තුවේ ද්විතීය සංඝනායක පදවිය පිරිනැමිණි. එම පදවිය මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ උපොෂථ, පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක ගරුතර මහා කාරක සංඝ සභාවෙන් පිරිනැමිණි.
ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ලබා ගැනීම මේ මස 29 වැනිදා පස්වරු 2.30ට රාජපූජිත මල්වතු මහා විහාරයේ මංගල උපෝස්ථාගාරයේදී සිදු කෙරේ. පසුදින එනම් 30 වැනිදා සවස 1.00ට දර්ශනීය පෙරහරකින් කටුගස්තොට නගරයේ සිට නාහිමිපාණන් වහන්සේ වැඩම කෙරේ. දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමිපාදයාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ සහ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් උත්සව සභාවක් පැවැත්වීමටත්, සවස 6.00ට සෙත් පිරිත් දේශනාවක් පැවැත්වීමටත් කටයුතු සංවිධාන කර තිබේ. 31 වැනිදා පෙරවරුවෙහි 60 නමකට අධික මහා සංඝරත්නය සඳහා දානය ද පිරිනැමේ.
ආචාර්ය, රාජකීය පණ්ඩිත
අංකුඹුරේ ශ්‍රී චන්දානන්ද හිමි