Home » මෘදු කවියක පතුල කණින මතු මතක

මෘදු කවියක පතුල කණින මතු මතක

-ප්‍රවීණ කිවිවර සුනිල් විජේසිරිවර්ධන

by sachintha
March 27, 2025 4:20 pm 0 comment

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ප්‍රකට පරිවර්තකයකු, කවියකු වශයෙන් විශාල සාහිත්‍ය මෙහෙවරක යෙදී සිටින්නෙකි. ‘මතු මතක’ ඔහුගේ අභිනව කාව්‍ය සංග්‍රහයයි. මේ කෙටි සටහන ඒ පිළිබඳවයි.

මේ කවි පොත, මේ අවුරුද්දෙ කියවපු කවි පොත්වලින් මගේ අවධානය ඉහළින්ම දිනාගත්ත එකක් කියන්න පුළුවන්. හරිම මෘදු, ගැඹුරු කවි ගොඩක් පොතේ තියෙනවා. ඒ වගේමයි බහුතරයක් කවිවලින් අපිට ගෙනෙන සුවදායී හැඟීම ලොකු වෙලාවක් අපිත් එක්කම ඉන්නවා.

කවි පොත කොටස් පහකට බෙදලා තියෙන්නෙ. ඒක කියවාගෙන යන අතරේ හැඟීම් ඛණ්ඩනය කරගන්න ලොකු උදව්වක් දෙනවා. නැවතීම් ඉබේම වැටෙනවා. මේ කොටස් පහ නම් කරලා තියෙන විදිහටත් මං මනාපයි. ඒවා මෙන්න මෙහෙමයි;

i. සාමූහික බිම් පෙදෙස්

ii. ජීවවාසික කාංසාව

iii. සෙනෙහෙ මංකඩ

iv. චමත්කාර අබියස

v. ඇතුළු ගැබ කවුළු

කොහොමත් ‘සාමූහික බිම් පෙදෙස්’ අතරෙ කරක්ගහන්න තරමක් පහසුයි. කවි නිමිති වගේම කවි ශරීරයත් අපිට ස්පර්ශ කරන්න පුළුවන්මයි කියලා හිතෙනවා. මේවා සෙස්සන්ටත් කියන්න ඕන කරපු දේවල්. ඒත්, කියන විදිහෙ දැනගෙන හිටියෙ නැහැනෙ වගේ එකක් හිතමින් ඉදිරියට යද්දී කළු ගලේ ඔළුව ගහගන්න වෙන ප්‍රමාණෙ කවියක් ඇවිත් යෝධයෙක් වගේ අපේ ඉස්සරහා අවුරනවා. මෙන්න මේ තියෙන්නෙ ඒ කවිය, ඒක ඉතා විශාලයි; ලේයර් සහිතයි; යෝධයි; එක විටම අලංකෘතයි.

5 අපේම මකරෙක්

මගේ සබඳ

සුරතල් මකර පැටියා කියා

කවා පොවා-

(මුලින් මුලින්

බිලි දුන්නේ හොඳටම පොඩි සතුන්)

ඔබ ලොකු මහත් කළ මකරා

ඉගිළ ගොස් ඔබේ වැට මායිමෙන්

ගොදුරු සොයා සරයි දැන්

හිතුමනාපෙට-මෙන්න…තනියෙන්!

දැන සිටියේ නැතිද ඔබ

මොන මකරාත් වැඩුණු පසු

කෙතරම් මුදු කාලගුණයක නමුත්,

මදුරුවෙකුගෙන් හෝ ගැහැටක් නැතිවත්

මීයෙන්, පලින්, වන නිම්න පිරුණත්

නර බිල්ලක් නැතිව ගුහාවට නොයන බව?

කපුටෙකු ගියත් හිසට ඉහළින්

වියරු වී කෝපෙන්

ගිනි පිඹින බව ගිනි බට දහසක වැරෙන්?

අනිත් මකරෙකු පැමිණ සැඟවේදෝ සැකෙන්

යුද ටැන්කි දහසක වෙයින් වනාන්තර පෙරළන බව?

වෙරඹුව මෙන් සූරනා’තරේ අහස වානේ තටු දහසකින්,

අග්නි වායු සුළඟට, විෂ දිය ඇළ දොළට වගුරන බව?

මගේ සබ‍ඳ,

ගොදුරු ගිලින මකරෙක්

ලොකුවෙනවා විනා පොඩි වෙන්නේ නැතිය-

ඒ බව දැන සිටියේ නැතිද ඔබ?

දැන් දැන් ගම් දනව් ජනයා

‘අපේම මකරෙක් ඉන්න එක වාසනාවක්’ කියති,

මකරෙක් නැති රටක් ගැන හීනයක් හෝ නොදකිති.

පිටු 11-12

මේ කවියේ දැවැන්ත ගතිය නිසාම ඊළඟ කවි කිහිපයට යද්දි මම වේගය ටිකක් අඩු කරගත්තා. පළමුව, කලින් කවිය ගැන හිතන්න. දෙවනුව ඉස්සරහින් එළැඹෙන කවි ගැන අර කවියෙන් ගැලවිලා ඇවිල්ලා හිතන්න. මේක ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් මම කවි පොතක් එක දිගට කියවනවා. ඒක මගේ කියැවීමේ විලාසය. කවි පොතට හිත ගියොත් මම නැවත, නැවත ඒ පොත කිහිප වතාවක් සම්පූර්ණයෙන්ම, එක දිගට කියවනවා. ඒ නිසයි මේ කියැවීමේ අතරමැද වේග අඩාළවීම් මට ඕනෑ කරන්නෙ.

‘මගීන් තිදෙනා’, හත් වැනි කවියේ මැදක මෙන්න මෙහෙම පේළි කිහිපයක් තියෙනවා,

‘….එහෙත් ඉන් ඔබ්බෙහි

අත්හළ නොහැකි සිහිනෙකි;

පාළුවට ගිය සදා පල බර උයනකි…’

මේ අත් හරින්න බැරි සිහිනය, පාළුවට ගිය පල බර උයන මේ මොහොතෙ බහුතරයක් ගෙවන ජීවිතේට කණ්ණාඩියක් අල්ලනවා වගෙයි. හරිම නිශ්චිත මොහොතක මෙතන පහු කරන හැමෝගෙම මුහුණු මේ කණ්ණාඩියෙන් පේන්න ගන්නවා. ඒක තකන අය වගේම නොතකා එක්තරා පරිමාවක විනෝදයකින් පහුවෙන අයව මම සටහන් කරලත් තියාගන්නවා. සමහර විට ඒ පස්සෙ ප්‍රයෝජනයට ගන්න හෝ පළිගන්න වෙන්නත් පුළුවන්. කාටවත් කියන්න බෑ, ඒ මොකටද කියලා. ඔයාටම කියලා මකරෙක් ඉන්නෙක ගැන සතුටු වෙන අතරේ ජීවිතයේ මඟාරින්න බැරි ශෝකීම මොහොතක් එක්ක නවතින එකත් එකම හැඟීමකින් මිනිස්සු සිද්ධ කරන්නෙ. පරස්පර විරෝධී සංවේදනා කිහිපයක්ම ‘එක මිටට’, ‘එකම මේසයක’ තියලා එකම ආකාරයකින් සලකන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ. ඒ අභාග්‍යසම්පන්න හැඟීම් ගල්ගැහුණු බව කිසි තැවීමක් නැතිව මේ දැනුත් අපි දරාගෙන ඉන්නවා. කවිය, මේ සියල්ල එකට කලතනවා. සමහර ප්‍රශ්නවල, ප්‍රශ්නකාරී තැන් ‘මෙන්න’ කියලා පෙන්නනවා.

‘මැතිතුමනි’, 17 පිටුවෙන් මතුවෙන්නෙත් එහෙම කපටි සූට් එකක් ඇඳගෙනමයි. හැඟුවුම්කාරක එකෙන්, දෙකෙන් කියවන්නා ඒක අල්ලගන්නවා.

‘…එහෙත් ඔබ නම් යන්නේ

ඔබ ඔය යන දිසාවටයි.

මාර්ග සිතියම ඔබමය,

ඉතින් බියට පත්වෙන්න

යන දිසාව දැන් වෙනස් නොකළොත්

ඔබ යන්නේ

ඔය දිසාවටමයි.’

පිටුව 17

ජීවවාසික කාංසාව, දෙවැනි කොටසින් මේ කවි පේළි දෙක උපුටාගත්තේ.

‘….මේ තරම් එළිය මොකටද රෑට

රෑට රෑ වෙන්න දෙන්න..’

සෙනෙහෙ මංකඩ, තුන්වැනි කොටසෙ ‘පැරැණි ආදර කවියක්’ අග්ගිස්සෙන් මං මේ පද කිහිපය උපුටනවා.

‘…එහෙත් ඔබ පැමිණියේ

මටත් අමතකව ගොස් තිබුණ

කිසිවෙක් කිසිදින

නෑරී දොර ඇරගෙන,….’

ඉතින් මහ සද්දෙන් නොවෙද ඒ දොර ඇරුණේ? කිසිවෙක් කිසිදින නෑරි දොරක් කවුරුහරි අරිද්දි එහෙම තමයි. ශබ්ද බහුලයි. අවදානය බෝමයි.

දැන් මං ඇතුළු වෙන්නෙ ඇතුළු ගැබ කවුළු, පස් වැන්නට.

මුලින්ම අපිට ස‍ංඥාවක් ලැබෙනවා. ඒ නොතකා යන්න අසීරුයි. ‘දෙවියකු වීම අසීරුයි’

මේක සයිෆයි කතාවකින් එන එළැඹුමක්.

‘…තුවාල නොවී ඉන්නට

නොහැකියි දෙවියෙකුට,

එනමුත් අපට හැකියි

නැවත නැවතත් බිඳෙන කල හද

සුව කරන් හද බිඳුම් යළි යළි

පලිහක් කිණිස්සක් අත නොගෙන

නපුර මැදට යන්නට තව වරක්’

ඔන්න අපි ආයෙත් සමූහයක් විදිහට එකතු වෙලා අපේ මිනිස්කම දෙවියන්ට පාවා දෙනවා. කැමැත්තෙන්ම තුවාල වීම, කැඩීම, බිඳීම බාරගන්නවා. අන්න එතකොට මං නොසතුටෙන්. හැබැයි ඒ ස්වල්ප මොහොතකට.

කවියාගේ ඇල්ම, බැල්ම වැටිලා තියෙන්නෙ දුර ඈත නිම්නයකට කියලයි මට හිතෙන්නෙ. ඒ නිම්නයේ පෞද්ගලික සිහිනත්, පොදු සිහිනත් දෙකම අරගෙන අපිට ඇවිදින්න පුළුවන්. කවියා යෝජනා කරන මේ කලබල අඩු, මන්දගාමී ජීවිතයකට ඇතුළුවෙන්න අපි ඕන කෙනෙකුට ඉඩ තියෙනවා. ඒක හැමෝටම විවෘත දොරක්. හැබැයි ප්‍රවේශම ඔබ සතුයි

පසුව ලියමි:

කවි පොතේ තැනින් තැන කළු පසුබිමේ සුදෙන් ඇන්ද චිත්‍ර කවි පොතට හොඳ පෙරගමන් සහ පසුගමන් සගයෙක් වෙලා තියෙනවා. කවි අතර හැඟීම් ඡේදනය කරන රාජකාරියෙන් කොටසක් මේ චිත්‍ර කිසි කලබලයක් රහිතවම, ඉතාම අපූරුවට සිද්ධ කරලා තියෙනවා.

කාංචනා අමිලානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT