කතුවරයා නවකතාවක් ලියන හැටි ගැන තවත් කතාවක් ඔස්සේ විවරණය කරයි. එය අපූරු අභ්‍යාසයකි. රචකයා සමඟ සිදුකරන ආත්ම සංවාදයකි. කතා වවස්තු ගොඩනඟන හැටි, චරිත විශ්ලේෂණය කරන හැටි මෙන් ම, චරිතයක් සමබරව හා විශ්වසනීය ලෙස නිරූපණය කරන හැටිත් රචකයාගේ විශේෂාවධානයට ලක් වී ඇත. විදර්ශනා යනු සාම්ප්‍රදායික නවකතාවක් නොවේ.
අද අපගේ සංවාදයට ලක් වන්නේ නදීෂ් දික්කුඹුරගේ ‘විදර්ශනා’ නම් ප්‍රබන්ධයයි. මෙතෙක් සිංහල නවකතාවකින් සාකච්ඡාවට ලක් නොවුණු කතන්දරයක් ඊට ඇතුළත්ය. එක අතකින් එය නවකතාක් තුළ තවත් කතාවක් ලෙස හැඳින්විය හැකිය. තව අතකින් එය කතාවක ප්‍රධාන ශිල්පීය ලක්ෂණය වන චරිත – නිරූපණය පිළිබඳ විමර්ශනයක් හැටියට සැලකිය හැකිය. තවත් අතකින් බලනවිට එය ජීවිතය හා සමාජය පිළිබඳ සංවේදනා ගැඹුරින් විශ්ලේෂණය කිරීමට දැරූ ප්‍රයත්නයක් හැටියට ද ‘විදර්ශනා’ හඳුන්වා දිය හැකිය. නවකතාකරුවා ජීවිතයට සම්බන්ධ වැදගත්ම තේමාවන් කිහිපයක් හුවා දක්වමින් ඒ පිළිබඳ ගැඹුරු කියැවීමක් ඇති කිරීමට ද නවකතාකරු උත්සුක වෙයි.
(I) ආදරය හා ස්ත්‍රී චරිත, (II) මානව සබඳතා හා සමාජය
(III) මරණය හා ජීවිතයේ අර්ථ,
(IV) ජීවත්වීමේ දුෂ්කරතා හා මානව සමාජයේ ඉදිරි ගමන
ආදරය හා ස්ත්‍රී චරිත යන්න සිංහල නවකතාවේ පොදු ලක්ෂණයක් සේ සැලකිය හැකිය. ඕනෑම නවකතාවක ආදරය පිළිබඳ සලකුණක් ඇති අතර ඒ සඳහා සුන්දර ස්ත්‍රී චරිතයක් ද යොදා ගනු ලැබේ. එහෙත් මේ නවකතාවේ ප්‍රධාන ස්ත්‍රී චරිතය ගොඩනැඟෙන භූමිකාව කතුවරයා එම චරිතය ගොඩනැඟීමට දරන මානසික අභ්‍යාසය කෘතියට ඇතුළත් කර තිබේ. මේ කතාවට පෙරවදනක් සපයන උදානි ජයසේන විදර්ශනා ගැන දක්වන අදහස මෙහිලා ඉතා වැදගත්ය.
“විදර්ශනා කවුරුන්ද කියන්න මම දන්නෙ නැහැ. ඒ ගැන අහපු හැම වෙලාවෙම ඔහු කිවුවෙ විදර්ශනා කියන්නෙ මේ ලෝකයේ ඇත්තටම නැති ඔහුගේ මනස තුළ විතරක්ම ඉන්න සුන්දර ගැහැනියක් කියලයි.
(පෙරවදන)
කර්තෘවරයා සඳහන් කරන විදිහට විදර්ශනා වගේ ගැහැනියක් ඔහුට මුණගැසී නැත. එහෙත් ඔහු කැමැතිම හා ඔහු අපේක්ෂා කරන සුන්දර ගැහැනිය ඇයයි. ඒ චරිතය මැවීම සඳහා කතුවරයා, යථාර්ථය හා මායාව අතර සැරිසරයි. සිහින දකියි ඔහුගේ අභ්‍යාසය ආකර්ෂණීය වෙයි. එබැවින් අවුලකින් තොරව කතාව සමඟ සම්බන්ධ විය හැකිය. නවකතාව සංවාදයට ලක්වන බොහෝ අවස්ථාවලදී අපට ඇසෙන විවේචනාත්මක අදහසක් වන්නේ ‘ස්ටෝරි ඉස් ඩල්’ යන්න ය. නදීෂ් එම යෙදුමෙන් බේරී ශක්තිමත් කතාවක් ගොඩනඟන කතාකරුවකු බවට පත් වන්නේ ඔහු ඒ සඳහා යොදාගනු ලබන ප්‍රධාන තේමාවන් නිසා යැයි සිතිය හැකිය.
කතුවරයා වරෙක ලිංගිකත්වය ඔස්සේ ආදරය සොයයි. තම ආදරවන්තිය ගැන යම් තක්සේරුවක් තබයි. තව විටෙක මානව බැඳීම් විග්‍රහ කරමින් ආදරය සොයයි. ඒ සෑම අවස්ථාවකම ඔහු තම ප්‍රධාන චරිතය ගොඩනැඟීමට උත්සුක වෙයි. ඕනෑම ප්‍රබන්ධයක වැදගත්ම හා ප්‍රධානම ලක්ෂණය වන්නේ චරිත හැසිරවීමය. කතාවකට ප්‍රධාන වන ශිල්පීය ලක්ෂණ දෙකක් වෙයි. පළමුවැන්න චරිත ගොඩනැඟීමය. දෙවැන්න සිදුවීම් නිරූපණය කිරීමය. ඇතැම් ප්‍රකට නවකතාකරුවන්ගේ මතයට අනුව ප්‍රබන්ධ කතාවක වැදගත්ම හා අමාරු ම ශිල්පීය ලක්ෂණ තුනක් වෙයි.
(I)කතා වස්තු ගොඩනැඟීම, (II)චරිත නිරූපණය, (III)සිද්ධි නිරූපණය
සමහර නවකතාකරුවන්ගේ අදහසට අනුව වඩාත් දුෂ්කර කටයුත්ත වන්නේ සිද්ධි ගළපමින්, කතා – වස්තුවක් ගොඩනැඟීමය. සාර්ථක කතා වස්තුවක් ගොඩනැඟීම යනු නවකතාවේ වැඩ කොටසින් 50%ක් නිමාවීමය. ඒ අනුව පළමුව කළ යුත්තේ සාර්ථක හා ශක්තිමත් කතා වස්තුවක් ගොඩනැඟීමය. නදීෂ් දික්කුඹුර “විදර්ශනා” නවකතාව ඔස්සේ ඉහත ශිල්පීය ලක්ෂණ තුන ගැනම අභ්‍යාසයක යෙදෙයි. එය විවරණය කරයි. ඔහුගේ අභ්‍යාසය තුළ ඇත්තේ කතුවරයා සිය ප්‍රබන්ධය ගොඩනැඟීම සඳහා ගෙනයන බලවත් ප්‍රයත්නය යැයි කියන්නටත් පුළුවන.
“හිතට දැනෙන, ඇහැට පේන, කනට ඇහෙන දේ ඇත්තට ම පවතිනව ද කියලා භාෂාවකින් කියන්න පුළුවන් ද? ලොකු හාමුදුරුවනේ අපි මේ දකිමින් ඉන්නෙ විඳිමින් ඉන්නෙ මායාවක් – හීනයක් කියලා කියන්නබැරි ද ලොකු හාමුදුරුවනේ…?”
“මම, ඔබ, අපි හැමෝම මායාවෙම ඒ හීනෙම කොටසක් නම් මේ ලෝකය මායාවක් – හීනයක් කියලා අපිට හිතන්න බැරි වෙනවා. මොකද ඒ හිතීමත් අන්තිමේ දී ඔය මායාවටම ඔය හීනෙටම අයිතිවෙන හින්දා”
“ඒ කියන්නෙ ලොකු හාමුදුරුවනේ, ලොකු හාමුදුරුවොත් මමත් දැන් මේ ඉන්නෙ හීනයක් ඇතුළෙ ද?”
(4 – පරිච්ඡේදය – පිටුව 21)
මායාව – යථාර්ථය – හීනය හා නවකතාව ගැන දීර්ඝ සංවාද 19 සියවස මුල් කාර්තුව තුළත්, 20 සියවස තුන්වන කාර්තුව තුළත් බටහිර සාහිත්‍ය ලෝකය තුළ බහුල වශයෙන් දක්නට ලැබිණි. නවකතාව සිදුවීම් පිළිබඳ යථාර්ථයේ පිටපතක් විය යුතු යැයි සමහරු තර්ක ඉදිරිපත් කළහ. තව සමහරු නවකතාව මායාවේ ද, සිහිනයේ ද දිගුවක් බවට තර්ක ඉදිරිපත් කළහ. කුමක් වුව මේ මත දෙක තුළ ම සාර්ථක හා ආකර්ෂණීය ප්‍රබන්ධ බිහි වී ඇත. ඒ පමණක් නොව, ඇතැම් නවකතා ඔස්සේ මැනවින් ජීවිතය විවරණය වී ඇත. නදීෂ් එක මතයකට යටත් නොවන අතර නවකතාවක් රචනයේදී මතුවන සංකීර්ණතා මතු කරන්නට වෑයම් කරයි. නිදසුනක් ලෙස ලොකු හාමුදුරුවන්ගේ භූමිකාව ගත හැකිය. හැබෑවටම ගත් කල එබඳු භික්ෂු චරිතයක් නැත. කතුවරයා එම භූමිකාව යොදාගෙන ඇත්තේ සිය ගෙතීමට සදාචාරාත්මක සීමාවක් තබාගැනීමට හා කිසියම් දාර්ශනික පසුතලයක් නිර්මාණය කිරීමට යැයි කියන්නට පුළුවන.
යම් චරිතයක් හෝ සිදුවීමක් හෝ තත්වාකාරයෙන් නිරූපණය කිරීමට නම් කතුවරයා හෙවත් රචකයා ප්‍රබන්ධයෙන් ඉවත්විය යුතු යැයි විද්වත් මතයක් පවතියි. 19 සියවසේ ප්‍රංශ නවකතා හා කෙටිකතා රචකයෝ මෙය මූලධර්මයක් කොට සැලකූහ. එහෙත් එය දේව භාෂිතයක් සේ ගත යුතු නැත. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් කතාවක් කියන රචකයකුට කතාවෙන් බැහැරවීම අතිදුෂ්කරය. මන්දයත්; ඔහු කතාවේ ප්‍රධාන චරිතයට හෝ සෙසු චරිතයකට හෝ ජීවය දෙන බැවිනි. අනෙක් අතට එහි අර්ථය වන්නේ රචකයා සිය මත පළ කිරීමෙන් ඈත් වී සිද්ධිවලට හා චරිතවලට නිදහසේ හැසිරීමට ඉඩ දිය යුතු බවය. විස්තර කිරීම නොව; නිරූපණය වැදගත් බව එහි තවත් අර්ථයකි. නදීෂ් සිය කතාවේ චරිතයක් බවට පත්වෙමින් කතාව ගොතයි. එය අවුලක් වී නැත. මිලාන් කුන්දේරා වරෙක කියා ඇත්තේ සෑම නවකතාවකට කිසියම් ප්‍රහේලිකාවක් හෝ ගුඪාර්ථයක් හෝ පවතින බව ය. වඩාත් වැදගත් වන්නේ එකිනෙක චරිත පිළිබඳ හැඟීම් – දැනීම් යැයි නදීෂ් දික්කුඹුර අපට සිහිපත් කරයි. එය සිංහල නවකතාව සම්බන්ධයෙන් හොඳ අභ්‍යාසයක් සේ සැලැකිය හැකිය. නවකතාවේ ආරම්භය මෙහිලා උපුටා දැක්වීම වටියි.
“ඔන්න එකමත් එක රටක හිටියා කියල කතන්දර අහන්නයි අපි හැමෝම කැමැති හැම කතාවක්ම පටන්ගන්න විදිහක් තියෙනවා. ඉතින් මේ කතාවටත් එහෙම මොනවහරි විදිහක් හැදෙයි. හැබැයි ඒ හැදෙන්නේ මට ඕන විදිහට පිට ඉඳන් මට ඕනෑ විදිහට කතාව හදන්නෙ මොකට ද? මමත් බහිනවා කතාව ඇතුළට. කතාවෙ ඉඳන් කතාව හදන එක ලේසියි. එළියෙ ඉඳන් හදනවට වඩා…”
(සමාරම්භය)
බැලූ – බැල්මට ම ඉහත උද්ධෘතය පෙරවදනක කොටසක් සේ පෙනී යන්නට පුළුවන. එහෙත් එය එසේ නොවන්නේ ඉනික්බිති කතුවරයා සිය ප්‍රධාන චරිතය වූ විදර්ශනා කැටුව සිදුකරනු ලබන ආත්ම සංවාදයක් එම පිටුවෙන්ම ආරම්භ කරන නිසාය. කතුවවරයා මුලින්ම පෙන්වා දෙන්නේ තමන් රැඩිකල් මාර්ගයක් අනුගමනය කරමින් සිය ප්‍රබන්ධය ගොතන බවය. එය කතාව පුරාවටම පවතියි.
නදීෂ් ජීවිතයට හා සමාජ විකාශයට අදාළ මතවාද, සංකල්ප හා අදහස් වරින් – වර සිය කතාව ගෙනෙයි. ඒවා සංවාදයට ලක් කරයි. එය නවකතාවක් තුළ දැකිය හැකි තරමක් වෙනස් ලක්ෂණයකි.
“ඇයි සෙක්ස් ගැන කතා කරනකොට ගෑනු බයෙන් දුවන්නේ?”
“ගෑනුන්ට ඕනේ ආදරේ ගැන කතා කරන්න. පිරිමින්ට ඕනේ සෙක්ස් ගැන කතා කරන්න. පිරිමි සෙක්ස්වලින් ආදරේට යනකොට ගෑනු ආදරෙන් සෙක්ස්වලට එනවා”
(18 – පරිච්ඡේදයේ ආරම්භය – පිටුව 87)
කතුවරයාගේ සමාජ නිරීක්ෂණ ගැන පුදුම සිතෙයි. ඔහු ගෑනුන්ගේ හා පිරිමින්ගේ නාඩි අල්ලමින් බොහෝ දේවල් නිවැරැදිව වටහා ගැනීමට සමත් වන්නේ යැයි කිව හැකිය. ඒ පමණක් නොව ප්‍රබන්ධ කතාවේ නූතන මතවාද ගැන ද ඔහුගේ නිරීක්ෂණ ඇස යොමු වෙයි.
ඕනෑම ලේඛකයකුට තම ලියැවිල්ල ගැන විශ්වාසයක් තිබිය යුතුය. ඔහු හෝ ඇය හෝ එම ලියැවිල්ල වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඒ සාධක දෙකම නදීෂ්ට ඇති බව පෙනී යයි.
අමෙරිකන් සාහිත්‍යය තුළ ද මේ විෂයයට අදාළ කෘති කිහිපයක් මෑතක දී පළ වී ඇත. ‘ප්ලොට් ඇන්ඩ් ස්ට්‍රක්චර්’, ‘ද සීක්‍රට් ඔෆ් ස්ටෝරි’, ‘ද රයිටාර්ස් අයිඩියා’ ‘ද ඉමෝෂන් තිසෝරස්’ යන කෘති ඒ අතර වඩාත් ප්‍රකටය. ‘ප්ලොට් ඇන්ඩ් ස්ට්‍රක්චර්ස්’ කෘතියෙන් විග්‍රහයට ලක් කර ඇත්තේ කතා වස්තුවක් ගොඩනැඟීම සම්බන්ධයෙන්ය. මේ කෘතිවල විශේෂත්වය වන්නේ කර්තෘ පෙනී සිටිමින්ම කරුණු – කාරණා පැහැදිලි කිරීමය. නදීෂ් දික්කුඹුර මේවා සම්බන්ධයෙන් අවබෝධයකින් සිය කෘතිය නිම කළේ ද යන්න නිශ්චිතව ම කිව නොහැකිය. එහෙත් ඔහු තම කෘතිය “බෝරිං වීමකින්” තොරව නිමවා ඇති බව කිව යුතුය. සිය පළමු නවකතාවෙන්ම නවකතාව තුළ නොමැකෙන සටහනක් තැබීමට නදීෂ් දික්කුඹුර සමත් වී ඇත. මේ ප්‍රබන්ධයේ භාෂාව ගැන තවදුරටත් උනන්දු වූයේ නම් කෘතියේ අගය බෙහෙවින් ඉහළ යනු ඇත.
රන්ජන් අමරරත්න