Home » දෙන්නා දෙපොළේ

දෙන්නා දෙපොළේ

by sachintha
March 27, 2025 4:18 pm 0 comment

එක් මුනුපුරෙකු ළදරු පාසලටත් අනෙක් මුනුපුරා පාසලටත් ඇරලවා එම ත්‍රිරෝද රථයෙන්ම ආපසු නි‍ෙවසට පැමිණීම උපතිස්සගේ දෛනික රාජකාරියේ කොටසකි.

නි‍ෙවසට මීටර් දෙතුන් සියයක් තිබුණ ද පියතිස්ස ත්‍රිරෝද රථයෙන් බැසගත්තේ වෙනදා පුරුද්දටය. හැමදාම උදේට දිනපතා පත්තරයත් අරගෙනම නි‍ෙවසට යන්න පියතිස්ස පුරුදු වුණේ පුතාලාගේ නි‍ෙවසේ නැවතීමට පැමිණි දිනවලදීමය. උදෑසන අටහමාර පසුවී නැතත් පරිසරය පෙන්නුම් කළේ බොහෝ දහවල් වී ඇති ස්වභාවයකි. සෑම වසරකම වාගේ මෙවර පෙබරවාරියත් දැඩි හිරු රැසින් පහර කෑමට නියමිත බව සොබාදම දැන්මම ඉඟි කරන්නට විය.

“මේ පාර නම් පෑවිල්ල සෑහෙන්නම අල්ලයි වගේ නේද මහත්තයා”

පියතිස්ස දුටු මුදලාලි කඩෙන් එළියට බැස්සේ පත්තරය පත්තර ලෑල්ලෙන් ගලවාගෙනමය.

“ඒවගෙයි මුදලාලි පුදුම රස්නයක් තියෙන්නේ. පාන්දරට සීතලයි අට අටහමාර වෙනකොටම ඉර පුපුරන්න වගේ වෙනවා.”

වෙනදා වගේ කතා බහකට මුදලාලි සැරසුණත් ඇඟට දැනුණු තෙහෙට්ටුව නිසාම පියතිස්ස පත්තරයත් අරගෙන නි‍ෙවසට එන්න හැරුණා. ගේට්ටුව ඇරගෙන ඇතුළු වෙනකොටම මිදුලේ ඇති මල් පැළ දෙක තුන වේළෙන්න හැරිලා තියෙන බව පියතිස්ස දුටුවා.

“රුවිනි දුවත් දකින දකින ප්‍රදර්ශනයෙන් මල් පැළ උස්සගෙන එනවා,

අන්තිමට වතුර නැතිව වේළිලා ඒවා මැරිලා යනවා.”

පියතිස්ස තමන්නටම මුමුණාගත්තා.

“මොන අත් ගුණයක්ද මන්දා පොල් සම්බෝලයි බතුයි දුන්නත් තුන් වේලම කෑහැකි” පියතිස්ස කුමාරිගේ කෑම පිසීමේ දක්ෂතාවය වර්ණනා කළේ එහෙමයි.

“රුවිනි දුවත් මහ රෑ ඉඳලම නැඟිටගෙන කුස්සියේ යුද්දේ; උදේට දවල්ට රෑට තුනටම නානාප්‍රකාර කෑම හැදිලි; රස්සාවට ගියත් දරුවන්ට හොඳම දේ දෙන්නයි බලන්නේ. ඒත් මට නම් ඒ කෑම කටේ තියන්න බැහැ.”

ගිය මාසේ ලොකු දූලගේ ගෙදරට කුමාරි බලන්න ගිය වෙලාවේ කුමාරි එක්ක කියපු කතාව මතක් වෙලා පියතිස්සගේ කට කොනකට හිනාවක් ආවා.

එදා ආපහු එනකොට කුමාරි දූලගේ ගහෙන් කඩලා ඇඹරැල්ලා මාළුවක් උයලා දුන්නේ ශීතකරණයේ තියාගෙන ටික ටික කන්න කියලා. ඒත් ඒක ගෙනැත් මේසය උඩ තියපු ගමන්ම හරි රසයි කියලා වැඩි හරිය කෑවේ පියතිස්සගේ පොඩි පුතා මිහිර.

“අම්මා උයලා දුන්නොත් ඕන දෙයක් මෙයාලට රසයි”

රුවිනි දුව කිව්වේ විහිළුවට නොවන බව පියතිස්සට ඒ වෙලාවෙම තේරුණා.

පියතිස්සටයි කුමාරිටයි දරුවෝ හතර දෙනයි. එක දුවෙක් ඔස්ට්‍රේලියාවේ. එක පුතෙක් සිංගප්පූරුවේ. ලොකු දුවයි පොඩි පුතයි ඉන්නේ ලංකාවේ. හතර දෙනාම හොඳින් ඉගෙනගෙන හොඳ රැකියාවන් කරන විවාහක උදවිය. දරුවෝ විවාහ වෙලා වෙනම පදිංචියට ගියාට පසුව මහගෙදර ඉතිරි වුණේ පියතිස්සයි කුමාරි විතරයි.

“මීට පස්සේ අපි දෙන්නට ඕන දෙයක් කාලා, ඕන තැනක ගිහිල්ලා පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්.”

කුමාරි එහෙම කිව්වේ පියතිස්ස විශ්‍රාම යන දවසට කලින් දවසේ රෑ. ඇත්තටම පියතිස්සත් හිතුවේ එහෙමයි. ඉගෙනගන්න කාලේ ඉඳලම පාරටම ගතවුණු ජීවිතේ පිළිවෙළක් කරගෙන ගහක් කොළක් වවාගෙන කුමාරිත් එක්ක නිස්කාංසුවේ ගත කරන්නට පියතිස්සටත් ලොකු ඕනෑකමක් තිබුණා.

ඇත්තටම පියතිස්සටත් කුමාරිටත් එකට සතුටු වෙන්න විනෝද ගමන් යන්න ඉඩකඩක් අවකාශයක් තරුණ කාලෙවත් තිබුණේ නැහැ. පියතිස්ස රාජකාරියට හිරවෙලා හිටි අතර කුමාරි හිටියේ නිවෙසට හිරවෙලා. දරවෝ හතරදෙනෙක් කියන්නෙත් ලොකු වගකීමක්. පියතිස්සට කුමාරි පිට කෙනෙක් නෙවෙයි. පියතිස්සගෙම මාමගේ දුව. ඇවැස්ස නෑනා. පියතිස්සට වඩා අවුරුදු හත අටක් බාල කුමාරි පවුලේ එකම දරුවා.

පියතිස්සගේ තාත්තා එතරම් වත්පොහොසත්කම් තිබුණු අයෙක් නෙවෙයි. කුඹුරක් කරගෙන කොරටුවක් හිටවගෙන හිටපු සාමාන්‍ය ගම්බද ගොවියෙක්. පියතිස්සගේ පවුලත් බරසාරයි. ළමයි හයදෙනෙක්. ඒහැටි ළමයින්ට උගන්වන්න කරදර වෙන්න, හොඳ රස්සාවකට යවන්න උවමනාවක් පියතිස්සගේ තාත්තටවත් අම්මටවත් තිබුණේ නැහැ.

කුමාරිගේ තාත්තා තේමිස් මුදලාලි එහෙම නෙවෙයි. හොඳට හිතලා මතලා අනාගතය සැලසුම් කරපු දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු තමන්ගේ ඉලක්කය සපුරාගන්න තෝරගත්තේ අක්කාගේ දරුවෝ හයදෙනාගෙන් හතරවෙනියා වුණු පියතිස්සවයි. එයට හේතුව වුණේ හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කියනවා වගේ මුල ඉඳලම පිරිසක් අතර කැපී පෙනෙන පින් පාටක් පියතිස්සට උපතින්ම උරුමව තිබීමයි. ඒ විතරක් නෙවෙයි පාසලේදී පන්සලේදී වගේම ගමේ පොදු කටයුතුවලදිත් කර නොඇර ඉදිරිපත්වන ගතියක් වගේම හොඳ දක්ෂතාවයකුත් පියතිස්සට තිබුණා.

පියතිස්ස මෙන්ම ගොවි පවුලකින් පැමිණ සිටි වජිරාගේ ළගන්නා සුළු සිනහවේ තම හිස මත බලෙන් තැබූ කිරුළු ගලවා වීසි කළ හැකි යම් බලයක් වෙතැයි එකල පියතිස්ස සිතාගෙන සිටියේය. නමුත් සරසවියෙන් පිටව නැවත ගමට ආ පියතිස්සට වැටහුණේ රැකියාවක් ලබාගැනීමේ එකම පිළිගත් මාර්ගය උපාධිය නොවන බවයි. ඉල්ලුම් පත්‍ර පුරවමින් සම්මුඛ පරීක්ෂණවලට රස්තියාදු වෙමින් ගෙවූ කාලයේදී සරසවියෙන් ඉගෙන නොගත් බොහෝ දේ උපතිස්ස අත්දැකීමෙන් ඉගෙනගෙන තිබිණි.

අවසන මාමාගේ පිහිටෙන් ප්‍රදේශයේ මන්ත්‍රීතුමා හමුවී ඒ මාර්ගයෙන් හඳුනාගත් පුද්ගලයෙකුට ගතමනාවක් අතමිට මොළවා අත යටින් ලබාගත් රජයේ ලිපිකාර රැකියාවකට පියතිස්සට යන්නට හැකි වූයේ නිදහස් අධ්‍යාපනයේ නිදහස කොතනදැයි ප්‍රශ්න කෙරෙන වාතාවරණයකය. හමුවීමේ පහසුකම් හෝ කතාකිරීමේ පහසුකම් නොතිබුණු යුගයක වසරකට පසුව සරසවියෙන් පිටවූ වජිරා ද එක් වූයේ රැකියා විරහිත උපාධිධාරීන් ගොඩටමය.

තමා වංචාවක් පොරොන්දු කඩකළ බවක් විටින් විට පියතිස්සගේ හදවත රිදවුවද මුල සිටම වජිරා ද මේ පිළිබඳව දැන සිටි බව පියතිස්සට නොරහසකි. කවදාක හෝ තමා අමතක කර නෑනා විවාහ කරගනු ඇතැයි අවිශ්වාසය මුසු වදන් වජිරාගේ මුවින් පිටවන සෑම විටකම එය එසේ නොවන බව පෙන්වීමට තමන් දැරූ ව්‍යාජ උත්සාහයන් සිහිවන විට පියතිස්සට අදත් දැනෙන්නේ පසුතැවීමකි. නමුත් වජිරා කෙරෙහි තම සිත්හි හටගත් ඒ අකලංක ප්‍රේමය වෙනත් හේතු නිසා අතරමග විනාශ වී ගියද ඒ පිළිබඳව වෙනකෙකුට තබා තම මාමාටවත් දොස් නැඟීමට පියතිස්සගේ සිත නොනැමෙයි.

“මේ තමයි වෙන්න තිබුණු දෙය”

පියතිස්ස හැමදාමත් හිත හදාගත්තේ එලෙසිනි.

වජිරා පිළිබඳව හාංකවිසියක්වත් නොදත් කුමාරි තවමත් සිතා සිටින්නේ පියතිස්සගේ හදවතේ එකම උරුමක්කාරි තමන් කියාය. කුඩා කල පටන්ම දැන හඳුනන පියතිස්සගේ ඕනෑ එපාකම් අකුරටම ඉටුකරමින් යහපත් බිරිඳක, මවක, ගෘහිනියක යන භූමිකා තුනෙහිම වගකීම අකුරටම ඉටු කරන කුමාරි තම බිරිඳ වීමද

“විය යුතුම දෙයක්”

ලෙසින් පියතිස්සට හැඟීයන්නට පටන් ගත්තේද අද ඊයෙක නොවේ.

විශ්‍රාම ගැනීමෙන් සතියක් ඉක්මෙන්නට පෙර ඔස්ට්‍රේලියාවේ වෙසෙන දියණිය කතා කර පැවසුවේ වෛද්‍යවරුන් වන තමන්ට සිඟිති දියණිය නිසා රැකියාවේ කටයුතු කළමනාකරණය කරගැනීමට අපහසු බවකි. දරුවා බලාගැනීමට කෙනෙකු සොයා ගතහොත් ඒ සඳහා වන මුදල නොදැරිය හැකි තරම් වන හෙයින් අම්මාටත් තාත්තාටත් මඳ කලකට තමන් හා විසීමට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලෙස කෙරුණු ඉල්ලීමක් ද ඒ සමඟම ඉදිරිපත් විය. වෙනසකටත් එක්ක දෙදෙනාම එක්ව යන ගමනක් හෙයින් පියතිස්සත් කුමාරිත් ඒ ඉල්ලීම සතුටින් භාරගත් අතර ඒ සඳහා අවශ්‍ය කටයුතුද වහ වහා සම්පාදනය කරගැනීමට උත්සුක විය.

ඔස්ට්‍රේලියා ගමනට මඳ කලක් තියා කතා කළ සිංගප්පූරුවේ වෙසෙන පුතාගෙන්ද ඉල්ලීමක් ඉදිරිපත් වූයේ බලාපොරොත්තු නොවූ අයුරිනි. ඉංජිනේරුවන් වූ ඔවුන් දෙදෙනාගේ එකම පුතුද නි‍ෙවසේ තනිකර රැකියාවට යාමට අපහසු බැවින් මඳ කලකට තමන් හා විසීමට එන ලෙස අම්මාටත් තාත්තාටත් කෙරෙන ඉල්ලීමකි එය. එක් ඉල්ලීමක් හෝ අහක දැමීමට නොහැකි තත්ත්වයට පත්වූ පියතිස්සත් කුමාරිත් ජීවිතයේ අසීරුම තීරණයට එළඹියේ කොයි දරුවාටත් අවශ්‍ය වූ විටදී උපකාර කිරීම දෙමවුපිය වගකීමක් ලෙස සලකමිනි.

ඒ අනුව වසර තිස් ගණනක විවාහ දිවියේ රාජකාරි හේතු මත දින කිහිපයකට වඩා වෙන් නොවුණු ඔවුන් දෙදෙන වසර දෙකක දීර්ඝ වෙන්වීමක් උදෙසා කුමාරි ඔස්ට්‍රේලියාවටත් පියතිස්ස සිංගප්පූරුව බලාත් පිටව යන්නට යෙදිණි. පියතිස්ස වසර දෙකකින් ආපසු ලංකාවට ආවත් කුමාරිගේ කාලය තවත් වසරකින් දීර්ඝ කරගන්නට සිදුවූයේ දියණියට තවත් දරුවෙකු ලැබීම හේතුවෙනි.

කුමාරි එන තුරු මහ ගෙදර තනිව ගෙවූ වසරක පමණ කාලය පියතිස්සට දැනුණේ කල්පයක් මෙනි. මොනවා හෝ උයාගෙන කා ගේ දොර අස්පස් කරගෙන වත්තේ ගහක් කොළක් හිටවගෙන ගෙවූ නිහඬ ජීවිතය ද සිංගප්පූරුවේ තට්ටු නිවාසෙක හිරවී ගෙවා දැමූ ජීවිතයට වඩා නම් බෙහෙවින්ම යහපත් බව පියතිස්ස පැවසුවේ කුමාරි ආපසු ආවිටය. කුමාරි ලංකාවට පැමිණ දෙදෙනා එක වහලක් යට එකට එක්ව ජීවිතයේ සැඳෑ සමය නිස්කාන්සුවේ ගෙවා දැමීමට හැඩ ගැසුනා පමණි පිළියන්දල ලොකු දුවගේ මෙහෙකාර ප්‍රශ්නය උග්‍ර විය. දන්නා අඳුනන අය මාර්ගයෙන් මෙන්ම ඒජන්සි මාර්ගයෙන්ද සොයාගන්නා මෙහෙකාරියන් මාස දෙක තුනකට වඩා ඈ වෙත නොරැඳෙන්නේ දුවගේ ඇති අති පිරිසිදු පිළිවෙත නිසා බව පියතිස්සට පහදා දුන්නේ කුමාරිය.

කොහේ සිටියත් දෙදෙනාම එක තැනක නොවේදැයි සිතූ පියතිස්සත් කුමාරිත් පිළියන්දල ලොකු දුවගේ නි‍ෙවසේ නැවතීමට ගියේ තුන් හැවිරිදි මිනිබිරිය බලාකියා ගන්නා අපේක්ෂාවෙනි. මඳක් ඉඩ පහසුකම් ඇති භූමියක පිහිටා තිබූ දෙමහල් නි‍ෙවසේ කළයුතු වැඩ කටයුතු බොහෝ වූයෙන් පියතිස්සටද ගමෙන් ඈත් වීමේ කාන්සිය එතරම් නොදැනිණි. නි‍ෙවස පිටුපසට වන්නට තිබූ හිස් බිම්කඩේ මෑ වැලක්, තක්කාලි පෝච්චි කිහිපයක් වගේම ගෝවා හා මාළු මිරිස් පෝච්චි කිහිපයක් ද පියතිස්ස වවාගෙන තිබූ අතර උදේ සවස ඒවාට සාත්තු සප්පායම් කිරීමෙන් අසීමිත තෘප්තියක්ද ලැබීය. මිරිස් ගස්වල සුදු මල් පිපෙන විට, ළපටි තක්කාලි රතට හැරවෙනවිට පියතිස්සට දැනුණේ තමන් පිළිබඳ ආඩම්බරයකි.

එවර ගැටලුව පැන නැංගේ කිරුළපන පදිංචි පොඩි පුතාගේ නි‍ෙවසෙනි. ඒ රවිනිගේ මවගේ අසනීපයත් සමගිනි. පොඩි පුතු මිහිරගේ කුඩා පිරිමි දරුවන් දෙදෙන බලා කියගත්තේ පාසලට රැගෙන ගියේ නැන්දම්මා වන රවිනිගේ මව විසිනි. නමුත් ඇයට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් පුතුගේ පවුල පමණක් නොව පියතිස්සත් කුමාරිත් නැවත අසරණ විය. පුතුගේ වචනය අහක දැමීමට නොහැකි තැන එහි ගොස් ටික දිනක් නැවතීමට පියතිස්ස කැමති වූයේ කුමාරි වෙතින් එල්ල වූ විරෝධයද මැදය.

ටික දිනක් යැයි කීවද ගිය ජනවාරියට මෙහි විසීමට පැමිණ අවුරුද්දක් සපිරිණි. බාල මුනුපුරා ළදරු පාසලටත් අනෙක් මුනුපුරා පාසලටත් ඇරලවා නැවත ඔවුන් නි‍ෙවසට රැගෙන ඒම පියතිස්සට පැවරුණු මූලිකම රාජකාරියයි. මුනුපුරන් දෙදෙනා තමන් හට දක්වන අසීමිත සෙනෙහසට පිටුපා ගමට යාමට පියතිස්සගේ හදවත ඉඩ නොදේ. දෙදෙනාම ගමට ගියහොත් දුවගේ මෙන්ම පුතුගේ පවුල්වලද අවුල් ජාලයක් මැවෙන අතර හයක් හතරක් නොදන්නා දරුවන් මෙහෙකාරියක අතට පත්කර යාමටද සිදුවේ. උභතෝකෝටික ප්‍රශ්නයක පැටලී සිටින පියතිස්ස කුමාරි යුවළ දෙපළක ගත කරන්නේද කනස්සල්ලෙන් පිරි දිවියකි.

ඇඳුම් මාරු නොකරම පුටුවේ ඇලවී සිටි පියතිස්ස නැවත ගෙතුළට එබී බැලුවේ වෙලාව හරිදැයි කියාය. දොළහට බාල මුනුපුරා ළදරු පාසලෙන් රැගෙන දොළහමාර වන විට අනෙක් මුනුපුරාගේ පාසල අසලට යා යුතුය. ඒ සඳහා ත්‍රිරෝද රථය එකොළහමාර වන විට ගේට්ටුව අසලට පැමිණේ. තවම වේලාව නවයහමාරය.

“උදේටයි දවල්ටයි දෙකටම හරියන්න බත්ම කනවා.”

සිතූ පියතිස්ස අසුනෙන් නැඟිට ගෙතුළට ගමන් කළේ ඉදිරිපස දොර වසාගෙනය. වෙනදා නවය වන විට කතා කරන කුමාරි අද තවම කතා කළේද නැත.

“අද බබා අඬලා කුමාරිව මොන්ටිසෝරියෙම නවත්ත ගත්තද දන්නෙත් නැහැ.”

කෝකටත් පියතිස්ස හිතාගත්තේ කෑම කා ඉන් අනතුරුව කුමාරිට ඇමතුමක් ගන්නටය.

දුරකතනය නාද වන විට පියතිස්ස කෑම කා අත සෝදා ගත්තා පමණි.

“කුමාරි වෙන්න ඇති”

අඩිය ඉක්මන්කර දුරකතනය වෙත ගියද කතා කළේ කුමාරි නොව මිහිරය. කෙදිනකවත් මේ වේලාවට කතා නොකරන පුතු අවේලාවේ කතා කිරීම පිළිබඳව පියතිස්සට ඇති වූයේ කුතුහලයකි.

“ඇයි පුතේ හදිස්සියක් ද”

“තාත්තේ පොඩි ප්‍රශ්නයක් වෙලා

අම්මා හොස්පිටල් එකේ”

“මොනවා වෙලාද”

“පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා”

පියතිස්සට දැනුණේ තමන් පය ගසාගෙන සිටින පොළව ඇඹරී නාය යන සෙයකි. වැටෙන්නට ගිය සිරුර වාරු කරගෙන අසල පුටුවකට බරවූ පියතිස්ස කිසිවක් පවසාගත නොහැකිව මොහොතකට ගොළු විය.

“තාත්තේ

තාත්තේ”

යනුවෙන් මිහිරගේ බියපත් හඬ රිසිවරය ඔස්සේ ගලා විත් පියතිස්ස නැවතත් පියවි සිහියට ගෙන ඒමට සමත් විය.

“තාත්තා කලබල වෙන්න එපා තව පැය බාගයකින් මම බබාල දෙන්නත් අරගෙනම ගෙදරට එනවා. තාත්තා ලෑස්ති වෙලා ඉන්න. හොස්පිටල් එකට යන්න.

මිහිර එන විටත් පියතිස්ස නි‍ෙවසේ දොරවල් වසා ගේට්ටුවද වසාගෙන පාරට පැමිණ පාර දිගේ මඳක් ඉදිරියටද ගමන් කර අවසානය.

“උදේ බබාව නර්සරි එකට දාලා අම්මා පාර පැනලා තියෙනවා ත්‍රීවීලර් එකක් ගන්න. එතකොට වේගෙන් ආපු මෝටර් සයිකලයක් සුදු ඉරේදී අම්මව හප්පගෙන ගිහින් එතන හිටපු මිනිස්සු එකතුවෙලා අම්මව හොස්පිටල් ඇඩ්මිට් කරලා ඒ තරම් අමාරුවක් නැහැ, ඇඟේ සීරීම් තුවාල විතරයි.”

“ඒත් අක්කා අම්මව බලෙන් ටිකට් කප්පවාගෙන ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ඇඩ්මිට් කළා.”

“ඔක්කොම පරීක්ෂණ ටික කරගන්නයි අක්කගේ අදහස කියන්න බැහැනේ ඔළුව එහෙම හැප්පිලද කියලා.”

මිහිර කතා කරන්නේ ඉදිරිය බලාගෙනය. ඔහුටද පියතිස්සගේ කඩා වැටුණු මුහුණ දෙස බැලීමට හිත හදාගන්න බැරි සෙයකි. තමන් මොනවා කිව්වත් අම්මා දෑසින් නොදැක තාත්තා හිත හදාගන්නේ නැති බව මිහිර දනී.

රෝහලට පැමිණීමට ගතවූ අඩ පැයක පමණ කාලය තම දිවියේ ගෙවූ දිගම විනාඩි කිහිපය බව පියතිස්සට හැඟිණි. රෝහල් කොරිඩෝවේ සුවිසල් කුලුනු පියතිස්සට පෙනුණේ බොඳව ගිය අයුරිනි. තට්ටු ගණනාවක් ඉහළට ඇදී ගිය විදුලි සෝපානයෙන් බැසගත් ඔවුන් කාමර කිහිපයක් පසුකර ගොස් නැවතුණේ කුමාරිගේ නම සඳහන් කාමරය අභියසය. කාමරය තුළට යාමට දිරි එලවාගත නොහැකි වූ පියතිස්ස ඒ සඳහා පුතුට ඉඩ දී පසෙකට විය. එල්ලයක් නැතිව ගමන් කළ පියතිස්සගේ බැල්ම නැවතුණේ කරකැවෙන විදුලිපංකාව වෙතය. සුදු ඇඳ ඇතිරිලි හා කොට්ට මෙට්ට අතරින් කුමාරිගේ කුඩා සිරුරත් අමාරුවෙන් මුවට නඟා ගත් සිනහවත් දුටුවේ අනතුරුවය. තැනින් තැන ප්ලාස්ටර් අලවා තිබූ කුමාරිගේ අතපයවලට අමතරව නළලේ වම්පසට වන්නටද ප්ලාස්ටරයක් අලවා තිබිණි. දරුවන් බලාසිටින්නේ යැයි යන චකිතයද අමතක කර පියතිස්ස කුමාරි වෙතට නැවී දෑතින්ම ඇගේ අත අල්ලා ගත්තේ ගැහෙන හදවතින්ය.

“දැන් කොහොමද”

“ඒ තරම් අමාරුවක් නැහැ මහත්තයා”

කුමාරි පැවසුවේ බෙහෙත් මතින් නිදිබරවූ දෙනෙත් ආයාසයෙන් විවර කර ගනිමින්ය.

රාත්‍රියට කුමාරි ළඟ නැවතීමට දියණියත් රුවිනිත් දෙදෙනාම ඉදිරිපත් වූව ද පියතිස්ස එකහෙලාම කියා සිටියේ තමන් කුමාරි ළඟ නවතින බවය.

ඇඳ අසල පුටුවක ඇලවී හුන් පියතිස්සට මඳක් නින්දයාගෙන එද්දීම ඇසුණේ කුමාරි තමන් අමතන හඬය.

“මහත්තයා මට මෙහෙ ඉන්න බැහැ අපි ගෙදර යමු”

“ඔව්; අපි යමු සනීප වුණු ගමන්ම යමු”

“අපි අපේ ගෙදර යමු”

පියතිස්ස පැවසුවේ කුමාරිගේ හිස සෙමෙන් අතගාමිනි.

ෂර්මිලා බංදුනී දංවත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT