එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධානය වන්නේ කෙසේද, එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගිය කණ්ඩායම් සමඟ නැවත එක්වීම සහ එම කණ්ඩායම්වලට දේශපාලන අනාගතයක් තිබේද, මාස හයක් නොඉක්මවූ අලුත් ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ සෑහේද සහ තවත් දේශපාලන කරුණු පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
එජාපයට විකල්පයක් වෙන්න සජබයට බෑ
දස වැනි විධායක ජනාධිපතිවරයා බිහි කරන්නේ එජාපයෙන්
රටේ දේශපාලන විනයක් හදන්න ආණ්ඩුවට පුළුවන්
දූෂණ විරෝධී පනත බලගන්වන එක ආණ්ඩුවේ වැඩක්
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සූදානම කෙසේද?
අවුරුදු ගණනක විරාමයකින් පසු එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරග කරනු ලබනවා. අප රටේ සියලු පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය විදිහට නාමයෝජනා පත්‍ර ලබා දී තිබෙනවා. එයින් නාමයෝජනා පත්‍ර කිහිපයක් යම් යම් තාක්ෂණික ගැටලු නිසා ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. එවැනි සභා කිහිපයක හැර අනෙක් සියලු සභා සඳහා අපේ මැතිවරණ ව්‍යාපාරය දැන් අප ආරම්භ කර තිබෙනවා. උතුරේ යාපනය, වන්නි වගේ පළාත්වලට මෙන්ම දකුණ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද ඇතුළු මුළු රටටම අප අලියා ලකුණෙන් තනි දේශපාලන පක්ෂයක් විදිහට තරග කරනු ලබනවා.
අපේ අරමුණ වෙලා තිබෙන්නේ ඇත්ත එක්සත් ජාතික පක්ෂය කුමක්ද කියලා මහජනතාව වෙත අවබෝධ කර දීමයි. අපට ආණ්ඩුව සමඟ ප්‍රශ්නයක් තිබෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ආණ්ඩුව කෙමෙන් තම කටයුතු ආරම්භ කර තිබෙනවා. ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙළ අනුව ඔවුනගේ ඇති වීම හෝ නැති වීම තීරණය වේවි. ආණ්ඩුවට තමන්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යාමට යම් කාලයක් අවශ්‍ය වෙනවා. අප මේ ලැබී තිබෙන කාලය තුළ එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඈත් වුණ ජනතා ආකර්ෂණය තරුණ සහාය නැවත දිනාගෙන ඉදිරියට යාමට කටයුතු කරමින්, අවශ්‍ය කරනු ලබන ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරමින් සහ දේශපාලන වශයෙන් ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ. අපට විශ්වාසයක් තිබෙනවා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ නැවත ගමින් ගමට දේශපාලන පක්ෂයක් විදිහට ස්ථාවර වීමට.
එක්සත් ජාතික පක්ෂය තනි දේශපාලන ගමනක් යාමට උත්සාහ කළත් පසුගිය දිනවල සමගි ජන බලවේගය සමඟ යම් එකඟතාවකට පැමිණීමට සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබුවා. එහි දැන් තත්ත්වය කුමක්ද?
ඇත්තෙන්ම සමගි ජන බලවේගය සමඟ පමණක් නොවෙයි සියලු පාර්ශ්ව සමඟ එකමුතුකම පිළිබඳව සාකච්ඡා කරනවා. ඇත්තෙන්ම එකමුතුකම කියන්නේ කුමන පැත්තකින් බැලුවත් වැදගත් දෙයක් විදිහටයි අප දකින්නේ. මෙහිදී අපට එකමුතුව පිළිබඳව පුළුල් සමගියකින් යුතුව තරග කිරීම පිළිබඳ අවස්ථා තුනක් තිබුණා. එයින් පළමුවන අවස්ථාව තමයි එකමුතුව තරග කිරීම. දෙවන අවස්ථාව තමයි, අපේ පක්ෂයේ අනන්‍යතාවය අනුව අලියා ලකුණ යටතේ තරග කිරීම. තුන්වන කරුණ තමයි අප මුලින් කතා කළ එකමුතුභාවය ඇතිවනවා නම්, අපේ ලකුණවන අලියා ලකුණ මෙන්ම ඔවුනගේ ලකුණද අතහැර පොදු ලකුණකින් ස්වාධීන කණ්ඩායම් විදිහට තරග කිරීමත් ඒ ඒ පක්ෂවල පත්වන නියෝජිතයන් වෙත තමන්ගේ පක්ෂවලම කටයුතු කිරීමට අවස්ථාව ලබා දීම.
අප එක්සත් ජාතික පක්ෂය විදිහට මාස ගණනක සිට උත්සාහ කළේ මේ ආකාරයට කටයුතු කිරීමටයි. එහෙත් සමගි ජන බලවේගය ඒ උත්සාහය නොතකා කටයුතු කළා. ඔවුන් එකමුතුව නොතකා වැඩ කිරීමේ නරක ප්‍රතිඵල ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයට අත්වීමට නියමිතයි. ඒත්, එතකොට ඔවුන් ප්‍රමාද වෙලා වැඩි බව වැටහේවි.
ඒත්, සමගි ජන බලවේගයේ ඇතැමුන් නඟන චෝදනාවක් බවට පත්ව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මට්ටමේ පිරිසක් එජාප, සජබ සාකච්ඡාවලට බාධා කරන බවයි. ඒ චෝදනාව ගැන ඔබේ අදහස කුමක්ද?
ඒ චෝදනාව ඉතාමත් වැරැදි චෝදනාවක්. මෙතැන තිබෙන්නේ එකමුතුවෙන් පලා ගිය පසු ඒ පලා යාම සාධාරණීකරණය කිරීමට සිදු කරනු ලබන උත්සාහයක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ සමගියට බාධා එල්ල කරනු ලබන කිසිම කෙනෙක් හිටියේ නැහැ. මේ මොහොතේදීත් අප වෙන් වෙන් වශයෙන් තරග කරන අතර එකමුතුකම ගැන කතා කරනු ලබනවා. ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුල්වෙලා සිටිනවා. ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු තවත් දේශපාලන පක්ෂවල දේශපාලන නායකයන් එක්ව සිටිනවා. මේ ඡන්දයෙන් පසුවත් එකමුතුකමට අවස්ථාව එසේම තිබෙනවා. මැතිවරණයෙන් පසුව වුවද මේ එකමුතුකම නැවත ගොඩනඟාගත හැකියි. එහෙත් ඒ දේවල් උල්ලංඝනය කරමින් තනි ගමනක් යාමට උත්සාහ කරනු ලබන්නේ සමගි ජන බලවේගයයි. ඒ නිසා එකමුතුකම බිඳ දැමීම සඳහා වැඩ කළේ සමගි ජන බලවේගය යැයි පෙන්වා දීමේ වරදක් නැහැ.
සමගි ජන බලවේගය බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් විදිහටයි. ඒ තත්ත්වය තුළ අනාගත දේශපාලන භූමිය මොන වගේ එකක් වෙයිද?
එක්සත් ජතික පක්ෂයට විකල්ප හදන්න කාටවත් බැහැ. අපේ පක්ෂය කියන්නේ රටේ සන්නාමයක්. එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් විදිහට සජබට ඉදිරියට පැමිණීමට නොහැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා. 2020 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තනි ආසනයකට වැටුණා. එදා මම දේශපාලන අනාවැකියක් විදිහට කිව්වා අවුරුදු දෙකක් ඇතුළත එජාපය නැවත බලය ලබා ගන්නා බව. එහිදී සමහරු මට හිනා වුණා. ඒත්, 2022 වර්ෂය වෙද්දී අප තනි ආසනයක් තියාගෙන රටේ අගමැති ධුරය සහ මාස දෙකක් ඇතුළත රටේ විධායක ජනාධිපති ධුරය ද ලබා ගත්තා. ඒ වගේම රට වැටී තිබුණු මහා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. ඒත්, එදා ආසන පනහකට වැඩි ප්‍රමාණයක් තබාගෙන සිටි සමගි ජන බලවේගය රට භාර ගැනීමේ අභියෝගයෙන් පලා ගියා. අටවන විධායක ජනාධිපතිවරයා බිහි කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසිනුයි. ආසන තුනක් තිබූ පක්ෂයක් රටේ නව විධායක ජනාධිපතිතුමා බිහි කරනු ලැබුවා. ඒ අනුර කුමාර දිසානායක මහතායි. මම අද අනාවැකියක් කියනවා, මට තිබෙන දේශපාලන දැක පුරුද්ද සහ පළපුරුද්ද නිසා දසවන විධායක ජනාධිපතිවරයා බිහි කරනු ලබන්නේද සමගි ජන බලවේගයෙන් නොවෙයි එක්සත් ජාතික පක්ෂය විසිනුයි.
එක්සත් ජාතික පක්ෂය පැරැණි දේශපාලන පක්ෂයක්. එජාපය ගතානුගතික දේශපාලන පක්ෂයක් විදිහටයි තිබෙන්නේ. එජාපය නවීන ලෝකයට තරුණ පරම්පරාවට ගැළපෙන විදිහට වෙනස් කරන්නේ කවදාද ?
එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා සහා දේශපාලන කළමනාකරණ මණ්ඩලය පක්ෂය මුළුමනින්ම තරුණ පරම්පරාව වෙත හුවමාරු කිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අවස්ථාවක තමයි පළාත් පාලන මැතිවරණය එළඹෙන්නේ. මෙහිදී නව පරපුරේ තරුණ කණ්ඩායම් සමඟ එකතුව පක්ෂය ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.
මේ ආණ්ඩුව පත්වන්නේම වංචා දූෂණ පිටුදකින බවට මැතිවරණ පොරොන්දු ලබා දෙමින්. ඔවුනට මේ පොරොන්දුව ඉටු කිරීමට හැකියාව තිබේද?
වංචාව, හොරකම, දූෂණය කියන දේවල් ලෝකයේ මිනිස්සු ඉන්නකම් පවතිනවා. ඒවා සම්පූර්ණයෙන්ම නැති කරන්න බැහැ. වංචාව දූෂණය සම්පූර්ණයෙන්ම නැති කිරීමට කිසිවකු සිතනවා නම් ඔහු හෝ ඇය ලෝකය පිළිබඳ නිසි අවබෝධයක් නැති කෙනෙකු විය යුතුයි. ඒ අතර හිතාමතා කරනු ලබන වැරැදි සහ හිතාමතා නොකරන වැරැදි කියලා කොටස් දෙකක් තිබෙනවා. දේශපාලනය කරනු ලබන පිරිස් තම දේශපාලන පක්ෂයේ විනය තුළ කටයුතු කළ යුතුයි, රටේ නීතිය අනුව කටයුතු කළ යුතුයි. මේ අතර අඩුපාඩු වෙන්න පුළුවන් ඇත්තෙන්ම අඩුපාඩු නැති කෙනෙක් නැහැ. මිනිස්සු වැරැදි කළොත් තමයි පොලීසියට රස්සාව ලැබෙන්නේ. නීතිඥ මහත්වරුන්ට රස්සාව ලැබෙන්නේ. මිනිස්සු වැරැදි කරනවා, වැරැදිවලට දඬුවම් කරනවා, පුනරුත්ථාපනය කරනු ලබනවා. මරණීය දණ්ඩනයට විරුද්ධ කෙනෙක් මම. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා මරණීය දණ්ඩනය ලබා දීම අත්හිටුවනු ලැබුවා. බුදු දහම අනුව කල්පනා කරන දේශපාලන පක්ෂයක් විදිහට මරා දැමීම වෙනුවට පුනරුත්ථාපනය කිරීම විශ්වාස කරනු ලබන දේශපාලන පක්ෂයක් විදිහටයි කටයුතු කරනු ලබන්නේ. ඒ අනුව කටයුතු කිරීම මඟින් තමයි මිනිසුන් නිවැරැදි කිරීම කළ හැක්කේ.
වර්තමාන ආණ්ඩුවේ හොඳක් ඔබට දකින්න ඇත්තෙම නැද්ද?
මම කිසිම අවස්ථාවක අන්තවාදී ලෙස දේශපාලනය කරන කෙනෙක් නොවෙයි. අන්තවාදීව දේශපාලන අදහස් පළ කරන කෙනෙකුත් නොවෙයි. මම නිතරම සිදු කරනු ලබන්නේ සාධනීය විවේචන පමණයි. ආණ්ඩුවට කිසිවක් නොකළත් දේශපාලන පක්ෂවල විනය ගොඩනඟන්න පුළුවන් නම් කැප කිරීම් පිළිබඳ ආදර්ශය ලබා දුනහොත් දේශපාලනයට එන අයට වංචාවෙන් දූෂණයෙන් තොරව කටයුතු කළ හැකි මාර්ගය පෙන්වා දුන්නොත් ඒ දේ පමණක් වුවත් ලොකු දෙයක් විදිහටයි සඳහන් කිරීමට පුළුවන්කම තිබෙන්නේ. රටේ යම් කඩාවැටීමක් සිදු වුණොත්, ඒ තත්ත්වයෙන් රට බේරාගන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන්. දේශපාලන වෛරයකින් තොරව රටම විනයානුකූල කිරීමටත් පුළුවන්. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලසම්පන්න පනතක් ඇති කළා වංචාව, දූෂණය පිටුදැකීමට. මෙය ආසියාවේ දූෂණ විරෝධී බලසම්පන්නම පනතක් විදිහට සඳහන් කරන්න පුළුවන්. දැන් වත්මන් ආණ්ඩුව ඉක්මනින් මේ පනත බලගැන්විය යුතුයි. අදාළ අය ඒ ව්‍යුහය සඳහා පත්කළ යුතුයි.
මෙතෙක් සිදු වුණේ විවිධ අමනාපකම් නිසා අපි අපිම අල්ලස් කොමිෂන් සභාවට ගිහින් පැමිණිලි දාන එකයි. ඒත්, මේ දැමූ පැමිණිලිවලින් සියයට අසූවක්ම අහක යන පැමිණිලි. දේශපාලන වාසි ගන්න පැමිණිලි කිරීමත් ප්‍රචාරක වාසි ගන්න පැමිණිලි කිරීමත් වැඩක් නැහැ.
අපි ජාතියක් විදිහට ගහගන්නවා. එකිනෙකාට විරුද්ධව පැමිණිලි දමා ගන්නවා. මේ ආකාරයට පැමිණිලි දමන අයගෙන් බහුතර පැමිණිලි සිංහල සමාජය අතර පැමිණිලියි, සෙසු සහෝදර ජාතීන් ඒ විදිහට පදනමක් නැති පැමිණිලි යොමු කරමින් කාලය කන්නේ නැහැ.
ඒ නිසා මේ ආණ්ඩුවට පුළුවන් දූෂණය නැති කිරීම සඳහා දූෂණ විරෝධී පනත බලගන්වන්න සහ සමාජයේ, දේශපාලනය තුළ විනය හොඳින් ගොඩනැඟීමට. මම මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන එකම දේත් එපමණයි. ඔවුනට අලුතින් කළ හැකි එකම දේත් එයමයි.
උදිත ගුණවර්ධන
ඡායාරූපය-හිරන්ත ගුණතිලක