රටක විධිමත් සංවර්ධන ක්‍රියාවලියක් ගොඩනඟා ගැනීම සඳහා එරටෙහි ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමවේදය හා සුබසාධන ආර්ථිකය යන කරුණු එකිනෙක බැඳී පවතී. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට ආර්ථිකයේ මෙකී සාධක ඉතා හොඳින් කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. ඊට හේතුව: සුබසාධන ආර්ථිකය සඳහා රටේ මුළු මූල්‍ය ප්‍රාග්ධනයෙන් ඉතා විශාල ප්‍රතිශතයක් වැය වන හෙයිනි.
අඩු ආදායම්ලාභීන් සඳහා අලුත් අවුරුද්ද කේන්ද්‍ර කර ගෙන සහන මිලට බඩු මල්ලක් දීමට රජය තීරණය කොට ඇත. මීට අමතරව, පාසල් සිසුන් සඳහා පාවහන් සහ දිවා ආහාර දීමනාවක් ද, තෝරා ගත් පාසල් සිසුන් සඳහා රුපියල් 6,000ක දීමනාවක් ද වැඩිහිටි සහනාධාර දීමනාවක් ද පොහොර සහනාධාරය ද යනාදී වශයෙන් ජනතාව හමුවේ’ පොරොන්දු වී ඇති සහන මල්ල අතිවිශාල ය. ඊට අමතරව, නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය සඳහා ද රාජ්‍ය මූල්‍ය ප්‍රාග්ධනයෙන් ඉතා විශාල පංගුවක් වැය වේ.
ඉතා සරල ආර්ථික විද්‍යා මූලධර්මවලට අනුව, රටක සමස්ත ආදායම ගොඩනැඟීමේදී බදු ආදායම හා බදු නොවන ආදායම ප්‍රමුඛ වේ. විවිධ රාජ්‍යයන් විසින් ජනතාව හමුවේ විවිධාකාරයේ බදු පනවා, රාජ්‍ය ආදායම තර කර ගැනීම සිදු වන අතර, ප්‍රගතිශීලී ආණ්ඩුව විසින් සිදු කරන්නේ ජනතා හිතවාදී බදු මූල්‍ය ප්‍රතිපත්තීන් පවත්වාගෙනයෑමයි. රටක් ඒ සඳහා ඉතා දුෂ්කර කොන්දේසි රැසක් සැපිරිය යුතු වේ. රාජ්‍ය මූල්‍ය ආදායම ඉතා ඉහළ අගයක පවතී නම් ජනතාව පීඩාවට පත් නොවන බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑම පහසු ය. එහෙත් වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍යයේ තත්ත්වය එසේ නොවේ.
බද්දක් යන්නෙහි සරල අදහස රාජ්‍ය ආදායම නංවා ගැනීම සඳහා පනවනු ලබන අනිවාර්ය අය කර ගැනීමක් ලෙස හැඳින්විය හැකි ය. 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ වගන්තිවල මේ සම්බන්ධ විධිවිධාන දක්වා ඇත.
අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 1,894,140කි. එනම්: රටේ සමස්ත ජනගහනයෙන් ලක්ෂ 19කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සුදුසුකම් ලබා සිටිති. තවත් ලක්ෂ 8ක පමණ සංඛ්‍යාවක් පොරොත්තු ලේඛනවල ද සිටිති.
මීට පෙර ක්‍රියාත්මකව පැවති ජනසවිය, සමෘද්ධිය සහ දිවි නැඟුම වැනි සුබසාධන ව්‍යාපෘති සඳහා ද අති විශාල ධනස්කන්ධයක් වැය වී තිබිණි. මේ සඳහා වැය වූයේ රාජ්‍ය ආදායමේ මුදල් ය.
මීට අමතරව, ගත වූ කාලය මුළුල්ලේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් ද පවතින බව හෙළිදරවුවී තිබේ. ඒ ආයතන නඩත්තු කිරීමට ද රාජ්‍ය ආදායමෙන් විශාල පංගුවක් ගෙවීමට සිදු වී තිබේ. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 4,744ක් වැය වෙද්දී රාජ්‍ය ආදායම ලෙස ගණන් බලා තිබුණේ රුපියල් බිලියන 4,999කි.
එසේ නම් රාජ්‍ය ආදායම හා වියදම අතර පංගුවත්, සුබසාධන ආර්ථිකය නඩත්තු කිරීමටත්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් නඩත්තු කිරීමටත් වෙනත් නිශ්චිත ක්‍රමවේද අවශ්‍ය වනු ඇත.
නිෂ්පාදන ආර්ථිකයක් (production economy) සඳහා වන පසුබිම අත්‍යවශ්‍ය වනුයේ මෙවන් අවස්ථාවකදී ය. එහෙත් කනගාටුවට කාරණය නම්, ගෙවුණු සෑම රාජ්‍ය පාලනයක් ම කටයුතු කර තිබුණේ නිෂ්පාදන ආර්ථිකය පසුබස්වන ආකාරයට ය. එනිසා ආර්ථිකය නඟාසිටුවීම පිණිස බදු ආර්ථිකය නැංවීමේ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු වීම වැළැක්විය නොහැකි කාරණයකි.
රජයට අයිඑම්එෆ් කොන්දේසිවලට යටත් වීමට සිදු වන්නේ ජාතික රාජ්‍ය ආදායම උපයා ගැනීම දුර්වල වූ අවස්ථාවකදී ය. වර්තමානයේ පවතින්නේ එවන් සමාජ, දේශපාලනික වකවානුවකි. වගා නොකළ ගොඩ මඩ ඉඩම් අක්කර ලක්ෂයක් අස්වැද්දීමේ පියවර සකස් කරනුයේ එහි මුල් පියවර වශයෙනි. ඊට අමතරව කෘෂි භෝග වගාව දියුණු කර, නිෂ්පාදන ආර්ථිකය නැංවීම ද තවත් පියවරකි.
මේ නිසා ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට මුලින්ම සිදු වන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කර ගැනීමට ය. දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කර ගත් පමණින් එක්වරම ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අත්වන්නේ නැත. ඒ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩසටහන් අවශ්‍ය ය. රටේ ආර්ථිකයට උර දෙන සෑම ක්ෂේත්‍රයකම ජනතා සහභාගිත්වය අවශ්‍ය වන්නේ එවැනි අවස්ථාවකදී ය.
එබැවින් ආර්ථිකය බිඳවැටුණු රාජ්‍යයක සුබසාධන ආර්ථිකය ද පවත්වා ගනිමින් නිශ්චිත ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමට නම්, එකී ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත යුතුම ය. ඒ සඳහා සිදු කෙරෙන ධනාත්මක ආකල්පමය වෙනස්කම් දෙස අපි ඉතා විමසිල්ලෙන් බලා සිටිමු.