මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල පිළිබඳ ව මෙරට තායිලන්ත තානාපතිවරයා සිය ප්‍රසාදය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පළ කළ අතර, ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කරලීම සඳහා තායිලන්ත රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව ද ප්‍රකාශ කළේ ය.
මෙම වසරේ දී තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරය වන බවත්, එය දෙරටේ ම ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ඉස්මතු කරන බැවින් මෙම සැමරුම වෙනුවෙන් මෙරට මහනුවර ජාතික රෝහල කෙන්ද්‍ර කර ගනිමින් විකලාංග වෛද්‍ය හැකියාවන් වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් මහතා මෙම හමුවේ දී ප්‍රකාශ කරන ලදි. මෙම ව්‍යාපෘතිය මගින් සැත්කම් පමණක් නොව තායිලන්තයේ විකලාංග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහ මෙරට වෛද්‍යවරුන්ගේ දැනුම සහ කුසලතා හුවමාරු කර ගැනීමට ද අවස්ථාව උදාවන බව ඒ මහතා අවධාරණය කරන ලදි.
ශ්‍රී ලංකාව තුළ තායිලන්ත ආයෝජන ඉහළ නැංවීම, තායිලන්තයේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයට ඉවහල් වූ විශේෂඥතාවයන් පිළිබඳ ව ද මෙහි දී අදහස් හුවමරු කර ගත් අතර තායිලන්ත තානාපතිවරයා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද සදහන් කරන ලදී.
තායිලන්තය බෞද්ධ දර්ශනික රටක් ලෙස ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ උරුමයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තායි සංචාරකයින්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා තායිලන්තයේ සහාය ලබා දෙන බවට ද සහතික විය.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කෙරුණු මෙම හමුවේ දී දෙරට අතර සෞඛ්‍ය, වෙළෙඳ, ආයෝජන සහ සංචාරක වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ කැපවීම ද අවධාරණය කෙරිණි.