Home » ‘කෝට්ටේ හටන’ මහ ක්‍රිකට් ගැටුම 28දා සිට තෙදිනක් කෝල්ට්ස් පිටියේදී

‘කෝට්ටේ හටන’ මහ ක්‍රිකට් ගැටුම 28දා සිට තෙදිනක් කෝල්ට්ස් පිටියේදී

by sachintha
March 26, 2025 4:36 pm 0 comment

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර සී.එම්.එස්. සහ කෝට්ටේ සාන්ත තෝමස් විදුහල් අතර 46 වැනි ‘කෝට්ටේ හටන’ මහ ක්‍රිකට් තරගය අනිද්දා (28) කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මෙවර තරගයේදී 5 වැනි වසරේ වර්ණලාභියකු වන සචින් ෂෙහාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පිල පිටියට පිවිසෙන අතර, සිවුවැනි වසරේ වර්ණලාභී දිනුජ ඉසුරු ජයසිංහ සාන්ත තෝමස් කණ්ඩායමට නායකත්වය දෙයි.

වසර 45ක් පුරා දෙදින තරගයක් ලෙස පැවති මේ තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය හිමිවීම හේතුවෙන් මෙවර ඉතිහාසයේ පළමු වරට තෙදින තරගයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

වසර 1919දී ශ්‍රී ජයවර්ධනපුර විදුහල් ක්‍රිකට් පිලේ නායකයා ලෙස කටයුතු කළ කේ.ජේ. රණසිංහ මහතා අනුස්මරණය කරමින් මේ තරගයේදී ‘රණසිංහ අනුස්මරණ පලිහ’ පිරිනැමීමට නියමිතය.

මේ තරගයට එක් වන ශ්‍රී ජයවර්ධනපුර පිලේ නායක සචින් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අතර, ඔහු කණ්ඩායමේ කඩුලුලාභීන් අතර ඉදිරියෙන්ම සිටින්නේ මනුත් මල්සුක සහ තලිෂ සිල්වා ද සමඟ සමව කඩුලු දවා ගනිමිනි.

උප නායක අර්ජුන අභිෂේක් තෙවැනි වසරේ වර්ණලාභියකු වන අතර, කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වන ඔහු මේ වන විට ලකුණු 500 සීමාව පසු කර තිබේ. අංජන නිදුෂ ප්‍රධාන පිතිකරුවෙක් වන අතර, රසල් වීරක්කොඩි සහ ප්‍රමෝදර සත්සර කඩුලු රකින්නන් ලෙස කටයුතු කරති. මේ කණ්ඩායමේ තෙවැනි වසරේ වර්ණලාභීන් 5ක්, දෙවැනි වසරේ වර්ණලාභීන් 3ක් සහ පළමු වසරේ වර්ණලාභීන් 7 දෙනකු ද කණ්ඩායමේ සිටිති.

සාන්ත තෝමස් කණ්ඩායමේ කඩුලු රකින්නාද වන නායක දිනුජ මේ වන විට ලකුණු 400 පසු කර තිබෙන අතර, සිවුවැනි වසරේම වර්ණලාභියකු වන උප නායක නෙත්මික තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ලකුණු 300 පසුකර ඇති ඔහු කඩුලු 31ක් ද දවාගෙන තිබේ.

සෙසත් රන්මිත තුන් ඉරියව් දස්කම් දක්වන අතර, ඩිලන් ෆ්‍රෑන්ක් පිතිකරණයෙන් සහ ගීත් කාවින්ද පන්දු යැවීමෙන් කණ්ඩායම ශක්තිමත් කරති.

මේ කණ්ඩායමේ තෙවැනි වසරේ වර්ණලාභියෙක්, දෙවැනි වසරේ වර්ණලාභීන් දෙදෙනෙක් සහ පළමු වසරේ වර්ණලාභීන් 9 දෙනකු සිටිති.

දෙවිදුහල් අතර මෙතෙක් පැවති තරග අතුරින් ජයග්‍රහණ 9ක් සමඟ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විදුහල සමත්ව ඇති අතර, කෝට්ටේ සාන්ත තෝමස් විදුහල ජයග්‍රහණ 5ක් වාර්තා කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර සංචිතය – සචින් ෂෙහාන් (නායක), අර්ජුන් අභිෂේක් (උප නායක), තලිෂ සිල්වා, මනුත් මල්සුක, දිනුජය නිර්වාන්, පවන් මදුසිත්, රසල් වීරක්කොඩි, තුලන සිතුම්, අංජන නිදුෂ, පසිඳු පින්සර, මලීෂ ලක්ෂාන්, නිසුර නෙත්සර, ප්‍රමෝදර සත්සර, තනුවර රනිතු, දේශාන් පෙරේරා, රුසිරු රිශ්මිත.

කෝට්ටේ සාන්ත තෝමස් විදුහල් සංචිතය – දිනුජ ඉසුරු ජයසිංහ (නායක), සදිල් නෙත්මික ඩයස් (උප නායක), සේසත් රන්මිත ජයතිලක, ගීත් කාවින්ද, ඩිලෙන් ෆ්‍රෑන්ක්, නෙත්සර කාව්‍ය, තරිඳු රන්ජක දිසානායක, ශෙහාන් සන්තුෂ් දම්සර, නිදුෂාන් කවීෂ, දමිදු කසුනාර, කවින් යෂ්මින, ගීසත් තත්මිර, අකාෂ් දිනෙත්, අශ්වින් ප්‍රකාන්.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT