සියවසකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ආසියාවේ පැරැණිතම රග්බි තරගාවලිය වන ‘ක්ලිෆර්ඩ් කුසලාන’ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය අද (26) ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය සහ කෝඩුකාර ශ්‍රී ලයන්ස් ක්‍රිඩා සමාජය අතර නිත්තවෙල පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.
අන්තර් සමාජ පළමු පෙළ ලීග් තරගාවලිය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ ලැයිස්තුගත වීම අනුව අර්ධ අවසන් වටයේ සිට පැවැත්වෙන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට මහනුවර, ශ්‍රී ලයන්ස් සමඟ ගුවන් හමුදාව, සීඑච් ඇන්ඩ් එෆ්සී, සීආර් ඇන්ඩ් එෆ්සී, පොලිස්, හැව්ලොක්ස් සහ යුද හමුදා කණ්ඩායම් එක්ව සිටී.
ක්ලිෆර්ඩ් කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය හෙට (27) පස්වරුවේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය අතර රත්මලානේදී පැවැත්වෙන අතර, තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගය සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර අනිද්දා (28) සීආර් පිටියේ පැවැත්වේ. ලීග් අනුශූර හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලබන ඉරිදා (23) හැව්ලොක් පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙවර ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව ගැටුම අප්‍රේල් මස 1 වැනිදා සහ දෙවැනි අවසන් පූර්ව තරගය 2 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය අප්‍රේල් මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේදී පොලිස් ක්‍රීඩා සමාජය වසර 32කට පසු ක්ලිෆර්ඩ් කුසලානය ජයගත් අතර, හැව්ලොක්ස් පිල අනුශූරයන් බවට පත් විය.
වසර 1911දී බ්‍රිතාන්‍ය ජාතික කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා කණ්ඩායමක් අතර පැවති තරගයේ ජයග්‍රාහකයන්ට පළමුවරට ක්ලිෆර්ඩ් කුසලානය පිරිනමා ඇති අතර, එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ලෙස කටයුතු කළ ශ්‍රීමත් හෆ් ක්ලිෆර්ඩ්ගේ නමින් එම කුසලානය පිරිනමා ඇත්තේ ක්ලිෆර්ඩ් ආර්යාව බව ඉතිහාසයේ සඳහන් වේ. අනතුරුව 1926 වන විට එය කණ්ඩායම් 4ක තරගාවලියක් ලෙස පවත්වා තිබේ. කෙසේ වුවත් පළමු ලෝක මහා යුද්ධය හේතුවෙන් 1914 සිට 1925 දක්වා සහ දෙවැනි ලෝක මහා යුද්ධය හේතුවෙන් 1939 සිට 1950 දක්වා මේ තරගාවලිය නොපැවත්විණි. 1950 වසරේදී අන්තර් සමාජ තරගාවලියක් ලෙස යළි ආරම්භ වූ ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය එවර ජය ගැනීමට හැව්ලොක්ස් පිල සමත්වී තිබේ. එවකට ලීග් ක්‍රමයට පැවති ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියක් බවට පත්වූයේ 1985 වසරේදීය.
එදා මෙදාතුර වැඩිම වාර ගණනක් ක්ලිෆර්ඩ් කුසලානය ජයගත් කණ්ඩායම ලෙස අවස්ථා 22කදී මහනුවර ක්‍රිඩකයෝ ක්ලිෆර්ඩ් කුසලානය අත්කර ගැනීමට සමත් වූහ. අවසන් වරට මහනුවර පිල කුසලානයට හිමිකම් කියනු ලැබුවේ 2018 වසරේදී නාවික හමුදා පිල ලකුණු 21-7කින් පරාජය කරමිනි. එම තරගයෙන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය සුපිරි ක්‍රීඩක ෆාසිල් මරිජා වර්තමානයේ මහනුවර පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.
ෆවුස් මොහොමඩ්