Home » නැකතට මුල්තැන දී අවුරුදු සමරමු

නැකතට මුල්තැන දී අවුරුදු සමරමු

by sachintha
March 26, 2025 4:29 pm 0 comment

සූර්යා දින 365 සහ පැය 15 මිනිත්තු 31 තත්පර 15ක් රාශි වළල්ලේ ගමන් කර මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙන මොහොත හෙළ සිරිතට අනුව උත්සවශ්‍රීයෙන් සැමරීම ඈත අතීතයේ සිටම පැවත එන සම්ප්‍රදායකි.

කොහාගේ මියුරු හඬින් මෙන්ම එරබදු ගහේ රක්ත වර්ණවලින්ද අවුරුද්ද ළඟ එන පණිවිඩය අපට ගෙන එයි.

අලුත් අවුරුද්දේ මුලින්ම කරන චාරිත්‍රය චන්ද්‍රයා මුල්කරගෙන සිදු කරයි. එය චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමයි. බොහෝ දෙනෙකු නියමිත දිනට මෙම චාරිත්‍රය ඉටුකිරීමට උත්සුක වන අතර, එදින මස් මාංසවලින් තොරව ආහාරපාන ගෙන තෙරුවන් නමැද නව සඳ බැලීමේ චාරිත්‍රය ඉටු කරයි.

නව සඳ බැලීමෙන් පසුගිය වසරේ මෙන්ම ඉදිරි වසර තුළද නිදුක් නීරෝගි ජීවිතයක් ගත කිරීමට හැකි වන බව ඔවුන්ගේ විශ්වාසයයි. පරණ අවුරුද්ද සඳහා නියමිත දිනට ස්නානය කිරීමෙන්ද නීරෝගි බව අපේක්ෂා කරයි.

අවුරුද්ද උදාවීමට පෙර ගෙදර දොර, වත්ත පිටිය සුද්ද පවිත්‍ර කිරීම නිවැසියන් විසින් සිදු කරයි. අවුරුද්දට ගෘහ මූලිකයා අතින් කෙරෙන වැදගත්ම කාර්ය නම් ගේ ඉදිරිපස ගොක්කොළවලින් පහන් පැලක් සාදා ගැනීමයි.

මේ සඳහා යොදා ගන්නා ගොක් අත්ත බිමට නොවැටෙන සේ කපාගත යුතු අතර, එය වියා ගැනීමේදී බිමට පැදුරක් හෝ ඉටි රෙද්දක් එළා එය නොපෑගෙන පරිදි ගෙහිමියා විසින් එය වියා පහන් පැල සාදාගත යුතුය. සැදෑ සිතින් පිරිසිදුව සාදාගත් පහන් පැල ගේ ඉදිරිපස සිටුවාගෙන ඒ මත කෙසෙල් කොළයක් එළා මල් පහන් සුවඳ දුම් පූජා කර තෙරුවන් නමැද ගම්භාර දෙවියන්ට හා සතරවරම් දෙවියන්ට පින් දීම සිදු කරයි. මෙය අවුරුදු උදාවන දිනට පෙර දින සිදු කරයි.

අවුරුදු දින පුණ්‍යකාලය හෙවත් නොනගතය ලබා වැඩ අත්හැරීමට ප්‍රථම ගෘහිණිය විසින් කරනු ලබන මූලිකම කටයුත්ත නිවසේ ප්‍රධාන තැනක් ගන්නා කුස්සියේ ළිපට ගෞරව කිරීම වශයෙන් කරන චාරිත්‍රය ඉටු කිරීමයි.

පැරණි අය විසින් මෙම චාරිත්‍රය විවිධ අයුරින් ඉටුකර ඇත. පළමුව කුල්ලක් ගෙන එයට ළිපේ ඇති අළු හා අනෙකුත් දෑ කුල්ලට ගෙන ළිප පිරිසිදු කර ගොම මැටි ගෑම සිදු කරයි. කුල්ලට දමාගත් පරණ අළු උඩින් කෙසෙල් කොළයක් තබා අවුරුද්ද සඳහා සාදාගත් සියලු කැවිලි වර්ග ටික ටික ඒ මත තබා බුලත්විට, පැන් භාජනයක් මෙන්ම පඬුරක් වශයෙන් කාසියක්ද තබයි. එය මත පොල්තෙල් පහනක් දල්වා ගෙයින් පිටත වත්තේ පාළු තැනක මෙය තබා ගෙවී යන අවුරද්දේ බාධාවකින් තොරව මුළුතැන්ගෙයි කටයුතු කර ගැනීමට උදව් උපකාර වූ ළිපට කළගුණ සලකා ලබන්නා වූ වසරේ අගහිඟයකින් තොරව කටයුතු කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරයි.

කාලයත් සමඟ මෙම චාරිත්‍ර වියැකී ගොස් ඇති අතර, ළිප වෙනුවට මුළුතැන්ගෙයි ගෑස් කුකරයට මුල්තැන ලැබී ඇත. නමුත් ගම්බද කාන්තාවන් තවමත් මෙම චාරිත්‍රය ඉටු කරයි.

ගෘහ මූලිකයා විසින් ගෙදරට අවශ්‍ය හාල් තුනපහ වැනි බඩුබාහිරාදිය මල්ලකට පුරවා වතුර බෝතලයක් ද සමඟ නි‍ෙවසින් පිටත සුරක්ෂිත තැනක එල්ලා තබයි.

වැඩ අත්හැරීමෙන් පසු නි‍ෙවසේ කිසිම කටයුත්තක් සිදු නොකරන අතර, පුණ්‍යකාලය තුළදී නිවෙසේ සැමදෙනාම එක්වී ආගමික වතාවත්වල නිරත වීම සිදු කරයි. ගෘහිණියට සුළු හෝ නිවාඩුවක් ලැබෙන්නේ මෙම කාලය තුළදීය.

නැකත් චාරිත්‍රවලට මුල්තැන දෙමින් සුළු විවේකයකින් පසු ගෘහිණිය නැවතත් තමාගේ රාකාරි කටයුතුවලට සූදානම් වෙයි.

එදිනට නියමිත වර්ණයකින් යුතු ඇඳුමකින් සැරසී නියමිත වේලාවට ළිපගිනි දැල්වීමේ චාරිත්‍රය ආරම්භ කරයි. පළමුව ශුභ දිශාවට අනුව සාදාගත් ළිපෙහි ළිප් ගලක් මත බුලත් කොළයක් තබා ඒ මත එළඟිතෙල් දැමූ පහනක් දල්වා තම ඉෂ්ට දේවතාවුන් සිහිපත් කර ළිප තුළට සඳුන් දර, කුරුඳු දර ආදිය දමා දල්වන ලද පහනකින් ගින්දර ගෙන ළිපගිනි මොළවා කිරිබත පිසගත යුතුය.

එම මොහොතේම ගෙතුළ කිරි ඉතිරීම අනෙක් සාමාජිකයන් විසින් සිදු කරයි. ගෙයි මැද සාදාගත් තාවකාලික ළිපට කුරුඳු දර, සඳුන් දර හා රත් හඳුන් කුඩු, සුදු හඳුන් කුඩු ආදිය දමා කපුරු පෙති දමා එහි ගින්දර දල්වා කිරි පුරවාගත් බඳුන අන් අයගේද අත ගස්වා ළිප මත තබා කිරි ඉතිරීම සිදු කරයි. කිරි ඉතිරවීමේදී කරණීයමෙත්ත සූත්‍රය කියා නි‍ෙවසට හා ගෘහ වාසීන්ට ආශීර්වාද කර සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරයි.

ඉන් අනතුරුව එලඹෙන වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීමේ චාරිත්‍රය තුළදී නි‍ෙවසේ මේසයක් මත සුදු රෙද්දක් එළා සකස් කරගත් කෑම මේසයට කැවුම්, කිරිබත්, රසකැවිලිවලින් හා විශේෂ වූ හත්මාළුව ද තබා ගනුදෙනු කිරීමේ කටයුතු ආරම්භයට සූදානම් වෙයි.

මෙහිදී නැකැත් වේලාවට ප්‍රථමයෙන් ගෙහිමියා විසින් පෙර සකස් කරගත් බඩු මල්ල හා වතුර බෝතලය ගෙනවිත් ගෘහිණියට පිළිගන්වයි. එවිට ගෘහිණිය විසින් බුලත් කොළයක් මත මුදලක් තබා ගෘහ මූලිකයාට පිළිගන්වයි. පළමු ගනුදෙනු කිරීමේ කටයුත්ත එතනින් ආරම්භ කරයි. පසුව ගෘහිණියද ළිඳ සමඟ ගනුදෙනු කිරීමේ කටයුතු සිදු කරයි.

බොහෝ විට මෙම නැකත් කාලසීමාව තුළදී ඉගෙනීමේ කටයුතුවල නිරත දරුවන් පොත්පත්වල කටයුතුද ගොවිතැන්වල නිරතවූ ගොවි මහතුන් කැත්ත, උදැල්ල සමඟ ගනුදෙනු කිරීමේ කටයුතු ද සිදු කරනු ලබයි.

ආහාර අනුභව කිරීමේ චාරිත්‍රයෙන් පසු එළඹෙන වැදගත්ම චාරිත්‍රය වන්නේ, හිසතෙල් ගෑමේ චාරිත්‍රයයි.

මෙය බොහෝ පළාත්වල උත්සවශ්‍රීයෙන් සිදු කරනු ලබයි. හිසතෙල් ගෑමෙන් පසු අලුත් අවුරුද්ද සඳහා ස්නානය කිරීම සිදු කරයි. වසර පුරාවටම බලාපොරොත්තු වන කායික මානසික නීරෝගිතාවය ඉන් බලාපොරොත්තු වනු ලබයි.

රැකී රක්ෂාවලට පිටත්වීමේ චාරිත්‍රයෙන් පසු අලුත් අවුරුද්දේ අවසාන චාරිත්‍රය වන්නේ සූර්ය වර්ෂය සඳහා නව සඳ බැලීමයි.

නව සඳ බැලීමෙන් අනතුරුව සත් වරක් මෙම කවිය කියා නව සඳ වන්දනා කරන්නේ නම්, සුවගුණ බල, ආයු, ධන, කීර්ති, ප්‍රශංසා ලැබෙන බව පෙර සිටම පැවති මතයකි.

සත් සඳ සසන්දා – ගොස් ඒ සඳෙහි ඇන්දා

සත් බුදුන් වැන්දා – මමත් සඳ දුටුවෙමි මුනින්දා

සඳ බැලීමෙන් අවුරුදු සිරිත් ආරම්භ වීමත් අවසන් වීමත් සිදු කරයි.

ඔබ සැමට ශුභ අලුත් අවුරුද්දක් වේවා!

ජ්‍යෙතිෂවේදිනී – ගීතිකා සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT