සංක්‍රමණික කතුන් අපේ කාලයේ සැබෑ “සැමරිය යුතු වීරවරියන්” ය. නමුත් කනගාටුදායක ලෙස එය සිදු වෙමින් පවතින බවක් නොපෙනේ. සංක්‍රමණිකයන්ගේ හඬ (VOM) වන අපි, මෙම ගැටලු හෝ අවශ්‍යතා කෙරෙහි ප්‍රමාණවත් අවධානය යොමු නොවීම රජයේ සහ සිවිල් සමාජයේ සැලකිය යුතු අඩුපාඩුවක් ලෙස හඳුනාගෙන ඇත්තෙමු. ඊට අමතරව, සංක්‍රමණිකයන් මෙම රජය බලයට ගෙන ඒමට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දුන් අතර, “ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය ප්‍රවර්ධනය කිරීමට ද කැපවී සිටිති.
නමුත් අවාසනාවකට අය වැයෙන් සංක්‍රමණිකයන්ගේ ගැටලු විසඳීම කෙරෙහි එතරම් සැලකිල්ලක් දක්වා නොමැත. බැලූ බැල්මට, අය වැයෙන් සංක්‍රමණිකයන් නැවත සේවයට ගෙන ඒමට, පවතින පහසුකම් කිහිපයක් වැඩිදියුණු කිරීමට ලබා දිය යුතු වරප්‍රසාද ගැන කතා කරයි. අනෙකුත් ක්ෂේත්‍ර හා සසඳන විට, සංක්‍රමණිකයන්ට ලබා දී ඇති ප්‍රමුඛතාවය සහ රටේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය සැලකිය යුතු ලෙස අඩු සහ බලාපොරොත්තු සුන් කරවන සුලු බව කනගාටුවට කරුණකි. සංක්‍රමණිකයින්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් මිස වරප්‍රසාද නොවන බව ‘සංක්රමණිකයින්ගේ හඬ ජාලය” ලෙස අප විටෙන් විට පෙන්වා දී තිබේ.
සංක්‍රමණිකයන්ගේ මෙම අභිලාෂය කෙරෙහි අවධානය යොමු කරන බවට අය වැයෙන් කිසිදු ඇඟවීමක් නොමැත. රජයේ ප්‍රවේශය එසේ නම්, ජනතාව ඔවුන්ගේ දායකත්වයට ගරු කර හඳුනා ගනු ඇතැයි අප අපේක්ෂා කළ යුතුද? රට තුළ ක්‍රියාත්මක වන ජාතික හා ජාත්‍යන්තර සංවිධාන විසින් ද එම ප්රවේශයම ගනු ලබන අතර, ඔවුන් සියල්ලන්ම ආර්ථිකයට විශාලතම දායකත්වයක් ලබා දෙන සංක්‍රමණික කාන්තාවන් වෙනුවෙන් හඬ නැඟීමේ වගකීම නොසලකා හැර ඇත. රට තුළ මෙන්ම ගමනාන්ත රටවල මිනිස් ජාවාරමට පවා වඩාත්ම අවදානමට ලක්විය හැක්කේ කාන්තාවන් ය. ඔවුන් විවිධ මට්ටම්වල ප්‍රචණ්ඩත්වයට ඍජුව හෝ වක්‍රව ලක් වන අතර, එය ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමේ ඔවුන්ගේ හැකියාවට අහිතකර ලෙස බලපායි. එවැනි ගැටලු කෙරෙහි අපගේ නිහඬතාවය පෙන්නුම් කරන්නේ අපගේම ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන සංක්‍රමණික කාන්තාවන් කෙරෙහි අප තුළම පවත්නා උදාසීනත්වයයි. මෙම තත්ත්වය රට තුළද, පිටතද සංක්‍රමණික කාන්තාවන්ට එරෙහි අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් නොතකා හරින ප්‍රචණ්ඩත්වයේම දිගුවකි. මෑත කාලයේ දී, මිනිස් ජාවාරම ද සංක්‍රමණික කාන්තාවන්ට බලපාන ප්‍රධාන ගැටලුවක් ලෙස ඉස්මතුවී තිබේ.
සංක්‍රමණික කාන්තාවන්ගේ “ආරක්ෂාව” සෑම මට්ටමකින්ම සහ සෑම අදියරකදීම සහතික කළ යුතුය. විශේෂයෙන් ම සංක්‍රමණික කතුන්ගෙන් එල්ලවන ප්‍රධාන චෝදනාවක් නම්, තමන් ආරක්ෂා කිරීමේ විශාල වගකීම පවරා ඇති ‘විදේශීය’ තානාපති කාර්යාල විසින් මෙම මූලික වගකීම පැහැර හැර ඇති බවයි. මෙම උදාසීනත්වය සමහර විට කාන්තාවන් හිංසනයට ලක්වීමට සහ මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්වීමට හේතු වන බව ද ඔවුහු පෙන්වා දෙති. ගමනාන්ත රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවාවන් සංක්‍රමණිකයින් විසින් විශේෂයෙන් කාන්තාවන් විසින් අගය කරනු ලබන හෝ පිළිගනු ලබන බව අප අසා නැත. මේ අතර, පිලිපීනය ඇතුළු ඇතැම් රටවල් ලොව පුරා තම තානාපති කාර්යාල හරහා තම සංක්‍රමණික කාන්තාවන් හඳුනා ගැනීම සහ අගය කිරීම සඳහා විශිෂ්ට කාර්යයක් කරන බව ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ දැනට පිරිහෙමින් පවතින ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රධාන භූමිකාවන් සංක්‍රමණික සේවකයින්, විශේෂයෙන් කාන්තා සේවිකාවන් විසින් ඉටු කරන බව අප යළිත් තරයේ සිහිතබා ගත යුතුය. එබැවින් ඔවුන් නිසි ලෙස හඳුනා ගැනීමට සහ අගය කිරීමට, ගමනාන්ත රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් මීට වඩා යමක් කළ යුතු බව අපි විසින් අවධාරණය කරන්නෙමු.
මයිකල් ජෝකීම්