දියඹ මුහුදේ සිට ඒ ඒ කාලයන්ට බිත්තර දැමීම සඳහා වෙරළට පැමිණෙන කැස්බෑවුන් වෙරළේ වළවල් හාරා එහි දමන බිත්තර රහසිගත අයුරින් ලබාගෙන විදේශිකයින්ට හා පිටස්තර ප්‍රදේශයන්හි ජනතාවට ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මකව ඇත.
මෙම හේතුව නිසා කැස්බෑ බිත්තරවලින් ඉපදී මුහුදට යාමට කැස්බෑ පැටවුන්ට තිබූ අවස්ථාව අහිමි වීමත් ඒ සමඟින් කැස්බෑවන්ගේ ගහනය අඩුවීමත් සිදු වෙමින් පවතී.
මිරිස්ස, වැලිගම, මාතර, තලල්ල හා දික්වැල්ල ආදී වෙරළ තීරයන්හි දී මෙම ජාවාරම ක්‍රියාත්මක වෙමින් ඇත. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොතෙකුත් උත්සාහ කළත් පළපුරුදු ජාවාරම්කරුවන් එකී ආරක්ෂක දැල්වලින් රිංගා තම ජාවාරම් සිදු කරමින් පවතින ආකාරය පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි. වෙරළ තීරයන්ට පැමිණෙන කැස්බෑවුන්ට විඳින්නට සිදුවන මෙම කනගාටුදායක තත්ත්වයට යම් හෝ සහනයක් දීමටත්, වෙරළ තීරයට සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීමටත් හැකි වන සේ විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට දික්වැල්ල, හිරිකැටය ඉදිකොට ඇති සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත්තේ එය දකින පිරිස් සතුටු කරන දසුන් ද නිර්මාණය වන ආකාරයට ය.
සංචාරක පොලිස් ඒකකය භාරව සිටි පොලිස් සැරයන් 40697 පී. එස්. වීරසිංහ මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරික ප්‍රජාව හා ප්‍රදේශවාසී ජනතාවගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කොට ඇති මෙම වැඩසටහන මඟින් බිත්තර දැමීම සඳහා වෙරළට පැමිණෙන කැස්බෑවන්ට ආරක්ෂාව සලසා රිසිසේ ඔවුන්ට බිත්තර දැමීමට අවස්ථාව සලසා, එලෙස දමන බිත්තර එක්රැස්කොට වෙරළතීරයේ ආරක්ෂිත ස්ථානයන්හි වළදමා ඒවා රැකබලා ගනිමින් සිට බිත්තර මෝරා පැටවුන් එළියට එන අවස්ථාවේදී වළවල්වලින් පැටවුන් ඉවතට ගෙන විදේශිකයන් ප්‍රමුඛ සංචාරක ප්‍රජාව එක්තැන්කොට ඔවුන්ගේ සුරතින් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීම සිදු කරනු ලබයි.
මෙම අවස්ථාවට සම්බන්ධ වීමෙන් හා එම අවස්ථාව දැකබලා ගැනීමෙන් විදේශිකයින් ඉමහත් සතුටක් ලබන අතර එම පිරිස් මාර්ගයෙන් මෙම ක්‍රියාව පිළිබඳ පුවත වෙනත් විදේශීය සංචාරකයින්ට ද දැනගන්නට අවස්ථාව ලැබීමෙන් එවන් අවස්ථා සඳහා එම පිරිස් ද පැමිණීම තුළින් ව්‍යාපාරික ප්‍රජාවගේ ද අත මීට සරුවන අවස්ථාවන් බවට එය පත්ව ඇත.
ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ