දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් මාවරල ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා විද්‍යාලයේ අඩි 80යි 20 ප්‍රමාණයේ පන්ති කාමර ගොඩනැඟිල්ලක් වසර දහයකට ආසන්න කාලයක සිට සිසු දරුවන්ගේ භාවිතයට නොගෙන අත්හැර දමා ඇති අතර එම ගොඩනැඟිල්ල දිරාපත් වෙමින් විනාශ වී යාමේ අවදානමකට ලක්ව තිබේ. මේ පිළිබඳව පාසලේ ගුරු මහත්මියකගෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ වහල දිරාපත්ව වැසි දිනයට තෙමෙන බැවින් පන්ති නොපවත්වන බවයි.
දැනට එක් කාමරයක් පමණක් උපදේශන ඒකකය සඳහා භාවිත කරන බවද ඇය පවසා සිටියාය. පන්ති කාමර දොරවල් ගැලවී, ආවරණ දැල් කැඩී, වහලයේ කොටස් කැඩී ගොඩනැඟිල්ල ජරාවාස වෙමින් පවතී. ගොඩනැඟිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මුදල් ලබා දීමේ ප්‍රමාදයක් නිසා ගොඩනැඟිල්ල ප්‍රයෝජනයට නොගෙන තිබෙන බව කලාප කාර්යාලයේ ප්‍රකාශිකාවක පැවසීය.
මාවරල සමූහ – පී. මද්දුමගේ