වාරියපොළ මැතිවරණ කොට්ඨාසයට අයත් කෙළිමුණේ ප්‍රදේශවාසීන්ට ස්ථිර ජල යෝජනා ක්‍රමයක් මේ දක්වා නොමැති නිසා විශාල අපහසුතාවයකට මුහුණපා ඇති බව වාර්තා වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන ජී.එම්. සුමිත් මහතා,
“කෙළිමුණේ ගම්මානය පිහිටා ඇත්තේ වාරියපොළ – කුරුණෑගල මාර්ගය දෙපසයි. මෙම ගම්මානයේ පවුල් 890කට අධික ප්‍රමාණයක් ජීවත් වෙන අතර, එයින් 600කට වැඩි ප්‍රමාණයකට ස්ථිර ජලසම්පාදන ක්‍රමයක් නැහැ. මෙම ගම්මානයේ නිවාසවලින් වැඩි ප්‍රමාණයක් ඉදිකර ඇත්තේ ගල් සහිත භුමි ප්‍රදේශයකයි. ළිඳක් කපන අවස්ථාවේදී ගලක් මතුවෙනවා. කපාගත් ළිංවල පායන කාලයට ජලය සිඳී යනවා. එවිට අපිට සිදු වන්නේ කිලෝමීටරයක් පමණ දුරින් තිබෙන විහාර ස්ථානයේ ඇති ළිඳට ජලය ගෙන ඒමට යෑමටයි. එම ළිඳ කුඩා නිසා වැඩි ජලයක් නැහැ. මුළු ගම්මානයට එම ළිඳෙන් ජලය ගන්න බැහැ.”
ඩී.එම්. දයාවතී මහත්මීය පවසා සිටියේ,
“වාරියපොළ ආසනය නියෝජනය කරමින් සිටි එස්.බී. නාවින්න ඇමැතිතුමා රජය නියෝජනය කරන අවස්ථාවේදී මගුරුඔය ජල ව්‍යාපෘතිය මඟින් වාරියපොළ නගරයේ සිට මහකෙළිය, කෙළිමුණේ, හංහමුණුව දක්වා ගම්මාන රාශියකට ජලය ලබාදීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කළා. නාවින්න ඇමැතිතුමා දේශපාලනයෙන් සමුගත්ත නිසා එම ජල යෝජනා ක්‍රමය මහකෙළිය නිසල තැන්න ගම්මානය අසලින් නැවතුණා.”
වාරියපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ගාමිණී පුෂ්පකුමාර පවසා සිටියේ මෙවැනි දුක් ගැනවිල්ලකි. “කෙළිමුණේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් අනුව මෙයට වසර 07කට පමණ පෙර වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 22ක මුදලක් වැය කර කෙළිමුණේ ගම්මානයේ පවුල් 890කට ජලය ලබාදීම සඳහා මගුරුඔය ආසන්නයේ විශාල ළිඳක් ඉදිකළා. එම ළිඳ අද වෙන විට කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම නිසා කැලයට යටවෙමින් පවතිනවා.
ජලය ගම්මානයට ලබා ගැනීම සඳහා අවශ්‍ය ජලනළ බට, ජල ටැංකියක් සහ වතුර මෝටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ප්‍රාදේශීය සභාවෙන්ද වයඹ ආණ්ඩුකාර කාර්යාලයෙන් ද වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටියා. අන්තිමේදී එයට ප්‍රතිචාරයක් නොලැබුණ නිසා එය අතහැර දැම්මා. අද වන විට එම ළිඳ විනාශයට යනවා.
හැකියාවක් ඇත්නම් මේ ගම්මානයට ජලය ලබා ගැනීමට උදව් කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටිනවා.”
කටුපොත විශේෂ – බී.ඒ.එන්. ශාන්ත කුමාර