Home » පුත්තලමේ ගම්වැදුණු වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක්

පුත්තලමේ ගම්වැදුණු වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක්

-මෙහෙයුමට ඇමැති චන්දන අබේරත්නත් එක්වෙයි

by sachintha
March 26, 2025 4:55 pm 0 comment

පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන වෙත කඩා වැදී ඇති වනඅලි නැවත වනාන්තර වෙත පලවා හැරීම් මෙහෙයුමින් වනඅලින් 60 කට ආසන්න පිරිසක් මේ වනවිට තබ්බෝව අභය භුමිය වෙත පලවා හැරීමට කටයුතු කර ඇති බව පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.

ගම්වැදුණු වනඅලි පලවා හැරිමේ මෙහෙයුම පසුගිය මාර්තු 15 වැනිදා ආඩිගම ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර එය අප්‍රේල් 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙමින් පවතියි.

මේ මෙහෙයුම වනජීවී නිලධාරීන්, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා යුද හමුදාවේ සහායත් සමඟ ගම්වල ජනතාවගේ දායකත්වයෙන් මේ වනවිට ක්‍රියාත්මකව ඇත.

වනඅලි වනාන්තර වෙත පලවා හැරීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ඒකකයේ විශේෂ සහාය ලබා ගනිමින් වනඅලි රැඳී සිටින ස්ථාන හඳුනා ගැනීම සිදුකරමින් මෙහෙයුම සාර්ථක කර ගැනීමට කටයුතු කරමින් සිටිති.

මෙම මෙහෙයුම මේ වනවිට ක්‍රියාත්මක වී දින 10ක් ගතව ඇති බවත් එම වකවානුව තුළ ආඩිගම, පල්ලම, මහකුඹුක්කඩවල ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල සැරිසරමින් සිටි වනඅලි 60කට සංඛ්‍යාවක් ක්‍රමයෙන් නැවත තබ්බෝව අභය භුමිය වෙත පලවා හැරීමට කටයුතු කර ඇති බව වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙම අලි මෙහෙයුම මඟින් පලවා හරින වනඅලි රංචු නැවත ගම්මාන වෙත කඩා වැදීම වැළැක්වීමට එය ආරම්භයේ සිට ප්‍රධාන මාර්ග ආසන්නයේ රාත්‍රි මුර සංචාර හා වැටලීමට එක්වූ නිලධාරීන් ස්ථානගත කරමින් රඳවා තැබීමට කටයුතු කර ඇත.

අලි මෙහෙයුම අතරතුර එය ආරම්භයේ සිටම මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය හා නිලධාරීන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය පරිපාලන ඇමැති ආචාර්ය චන්දන අබේරත්න මහතා ද පැමිණ තිබුණි. ඔහු වැටලීමට එක්වූ නිලධාරීන් සමඟ මධ්‍යම රාත්‍රි වනතුරු රැඳී සිටිමින් එය අධීක්ෂණය කිරීමට කටයුතු කර ඇත.

ඒ සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතා සමඟ පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා ද අලි මෙහෙයුම පිළිබඳව සොයා බලමින් ඒ සඳහා දායකත්වය ලබා දීම විශේෂත්වයකි.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT