Home » පොලීසියට ලැබුණු නව වේගමාපක යන්ත්‍ර ක්‍රියාත්මක කර පැයක් තුළ රියැදුරන් 20ක් මාට්ටු

පොලීසියට ලැබුණු නව වේගමාපක යන්ත්‍ර ක්‍රියාත්මක කර පැයක් තුළ රියැදුරන් 20ක් මාට්ටු

by sachintha
March 26, 2025 4:51 pm 0 comment

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු නව වේගමාපක යන්ත්‍ර ක්‍රියාත්මක කර පැයක කාලයක් තුළ නියමිත වේග සීමාව ඉක්මවා අධික වේගයෙන් රිය ධාවනය කළ රියැදුරන් 20 දෙනෙකු හසු කරගත් බව කුරුණෑගල කොට්ඨාස පොලිස් රථවාහන අංශය පවසයි.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන හේරත් මහතාගේ උපදෙස් අනුව කොට්ඨාස පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිමුතු ගුණසේකරගේ මහතාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදු කළ රථවාහන සෝදිසියක දී රථවාහන නීතිය උල්ලංඝනය කළ මෙම රියැදුරන් පිරිස හසුවී තිබේ.

නියමිත රථවාහන වේග සීමා උල්ලංඝනය කරමින් අධික වේගයෙන් ධාවනය කරවූ මෝටර් රථ 10ක්, ත්‍රිරෝද රථ 6ක්, යතුරුපැදි 4ක් අත්අඩංගුවට ගත් බව ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

පසුගිය 2022 වසරෙන් පසුව පොලීසිය වේගමාපක යන්ත්‍ර භාවිතයට ගත් ප්‍රථම අවස්ථාව මෙය විය.

නගරයෙන් බැහැර මාර්ගවල නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කරවනු ලබන සියලුම රථවාහන මෙම නවීනතම යන්ත්‍රය මඟින් අත්අඩංගුවට ගැනෙන අතර, මාර්ගයේ ධාවනය කරන ඕනෑම වාහනයකට අදාළ සියලුම විස්තර මෙම යන්ත්‍රය මගින් ග්‍රහණය කර ගැනීමට හැකිවනු ඇත. මෙහි ක්‍රියාකාරීත්වය මාර්ගයේ කිලෝමීටර් දෙකක පමණ දුරකට විහිදීම ද විශේෂත්වයකි.

පෞද්ගලික බස් රථ සේවකයන් ජංගම දුරකතන භාවිත කරමින් මාර්ගයේ ධාවනය වන අනෙකුත් බස් රථ හා සම්බන්ධ වෙමින් රථවාහන පොලිස් නිලධාරීන් ස්ථානගතව සිටින ස්ථාන හඳුනාගෙන මෙම වේගමාපක යන්ත්‍රවලින් බේරීමට උත්සාහ දරන බව ද වාර්තා වේ.

කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT