Home » කරවිටාගාර ජලාශය වනසමින් කසිප්පු පෙරූ තිප්පොළ වටලයි

කරවිටාගාර ජලාශය වනසමින් කසිප්පු පෙරූ තිප්පොළ වටලයි

-සැකකරුවෝ 2ක් සමඟ පෙරුම් උපකරණ අත්අඩංගුවට

by sachintha
March 26, 2025 4:00 pm 0 comment

හලාවත, කරවිටාගාර ජලාශය ඉස්මත්තේ ජලාශයට දැඩි විනාශයක් ගෙන දෙමින් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී කසිප්පු ජාවාරමක් වැටලීමට ජලජීවී වගා නිලධාරීන් හා හලාවත මූලස්ථාන පොලීසියේ නිලධාරීන් ඉකුත් 25 දින කටයුතු කර තිබුණි.

මෙම මහා පරිමාණ නීති විරෝධි කසිප්පු ජාවාරම කලක සිට කිසිදු බාධාවකින් තොරව කරවිටාගාර ප්‍රදේශයේ පදිංචි කසිප්පු ජාවාරම්කරුවකු විසින් සිදුකර ගෙන ගොස් ඇති බව ජලජීවී වගා නිලධාරීහු පවසති.

ඒ සඳහා මෙම ජාවාරම්කරු තෙප්පම් යොදා ගනිමින් ජලාශය ඉස්මත්තට ගමන් කර එහිදී මෙම කසිප්පු පෙරීම සිදුකර ඇති බව ජලජීවී නිලධාරීහු පවසති.

කරවිටාගාර ජලාශය, මිරිදිය ධීවර සංවර්ධන කටයුතු රාජ්‍ය ආයෝජනය යටතේ නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් කරගෙන යන බවත්, එසේ තිබියදී මෙම කසිප්පු ජාවාරම්කරු කසිප්පු පෙරීමෙන් පසු ඉවතලන ගෝඩා ඇතුළු දෑ කලක සිට ජලාශයට මුදා හැරීමත් සමඟ ජලාශයේ මසුන්ගේ කීට අවස්ථා සියල්ලම විනාශවීම සිදුව ඇති බවත්, ඒ සමඟම අභිජනන කටයුතුවලට ද දැඩි බාධාවක් එල්ල වී ඇති බවත් ජලජීවී වගා නිලධාරීහු පවසති.

කෙසේ වෙතත් මෙම ජාවාරම්කරු මෙලෙස දිගු කලක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් ධීවරයන් ඇතුළු කිසිදු පුද්ගලයකු එයට එරෙහි වීමක් සිදුනොකර ඇත්තේ මොහුගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් බව පොලීසිය පවසයි.

මේ පිළිබඳව ජලජීවී වගා නිලධාරීන්ට තොරතුරු ලැබීමත් සමඟ හලාවත මුලස්ථාන පොලීසියේ නිලධාරීන්ගේ සහායෙන් ජලාශය ඉස්මත්තේ තිබූ කසිප්පු පෙරීමේ ජාවාරම වැටලීමට කටයුතු කර ඇත.

ඒ සඳහා කරවිටාගාර ජලාශයේ ග්‍රාමීය ධීවර සමිතියේ නිලධාරීන් ද එක්ව තිබුණි.

වැටලීමේදී කසිප්පු පෙරීමේ ස්ථානයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු සමඟ ලක්ෂ 6කට අධික පෙරණ උපකරණ හා ගෝඩා, ගෑස් ළිප් ඇතුළු දෑ අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

වැටලීම සඳහා වයඹ පළාත් ධීවර අමාත්‍යංශයේ පූර්ණ සහාය ලැබී තිබූ අතර දිස්ත්‍රික් ධීවර නිලධාරි එස්.ඩී.සී. සිසිත කුමාර සමඟ ධීවර ව්‍යාප්ති නිලධාරීන් වන ජනිත් නෙත්මධු, රජිත සේනානායක හා රියැදුරු ඒ.එම්. අසේල, ඩබ්ලිව්.ආර්.ඒ. ආනන්ද, සාගර රුවන් යන නිලධාරීන් හා හලාවත මූලස්ථාන පොලීසියේ නිලධාරීන්ගේ පූර්ණ ආරක්ෂාව හා මෙහෙයවීමෙන් වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා අදාළ උපකරණ තොගය හලාවත මූලස්ථාන පොලීසියට භාරදී ඇත.

සැකකරුවන් පරීක්ෂණවලින් අනතුරුව හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT