Home » කුවේට්හි රදවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් පිරිසක් කටුනායකට

කුවේට්හි රදවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් පිරිසක් කටුනායකට

by yasara
March 26, 2025 4:14 pm 0 comment

කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ ( Central Jail of Kuwait ) රදවා තබා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු , කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ  මෙරටට භාර දීම සඳහා අද (26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබුණි .

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම 2007 වසරේ දී අත්සන් තබා ඇති අතර , එම ගිවිසුම යටතේ ඉකුත් 2024 වසරේ දීත් ශ්‍රී ලංකා සිරකරුවන් 32 දෙනෙකු පළමු වරට මෙරටට ගෙනැවිත් භාර දී තිබුණි .

මෙවර කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි ශ්‍රී ලාංකික සිරකරුවන් , කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම , ප්‍රවාහනය කිරිම සහ ජාවාරම් කිරීම යන චෝදනා සහ තවත් විවිධ චෝදනා  මත එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර , දඩුවම් ලබා , බන්ධනාගාරගතව සිටි පිරිසකි .

මොවුන් කුවේට් ගුවන් හමුදාවට අයත් බෝයිං සී. – 17 වර්ගයේ විශාලතම ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකික සිරකරුවන් සමග කුවේට් ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු පමණ පැමිණ සිටි අතර , ඔවුන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ද දිනක විවේකයක් සදහා කොළඹ තරු පංතියේ හෝටලයක් වෙත යොමු කර තිබුණි .

මෙසේ කටුනායක ගුවන් තොටුපොළ  වෙත රැගෙන ආ සිරකරුවන් කොළඹ , වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමට , බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මේ වනවිට අවස්ථා දෙකකදී , ශ්‍රී ලාංකික සිරකරුවන් 52 දෙනෙකු මෙරටට රැගෙන විත් භාර දී තිබුණ ද , මෙරටින් කුවේට් රාජ්‍යය වෙත භාර දීම සදහා කුවේට් ජාතික සිරකරුවන් කිසිවෙකු නොවීම ද විශේෂත්වයකි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT