Home » අපනයන ආදායම කෝටි 41,000යි

අපනයන ආදායම කෝටි 41,000යි

by sachintha
March 26, 2025 4:20 pm 0 comment

කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම රුපියල් කෝටි 41,000ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 1,382.53) දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව සමස්ත අපනයන ආදායම මෙලෙස ඉහළ ගොස් තිබෙන අතර එය පසුගිය 2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 4.62ක කැපී පෙනෙන වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වාදෙයි. ඊට අමතරව, 2025 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී අපනයන ආදායම සියයට 2.58ක මාසික වර්ධනයක් වාර්තා කර තිබේ.

2025 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,056.39ක් වන අතර 2025 පෙබරවාරි මාසයේ සේවා අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 326.14ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2024හි අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 24.37ක වර්ධනයක් පෙන්නුම් කරයි.

වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන ආදායම 2025 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 2,730.33ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2024දී එම කාලයට සාපේක්ෂව සියයට 6.65ක වර්ධනයක් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා මහ බංකුව කියා සිටී.

2025 පළමු මාස දෙක තුළ වෙළෙඳ භාණ්ඩ අපනයනය සියයට 3.9කින් වර්ධනය වී ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,109.19ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගණන් බලා ඇත.

සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 17.2කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 621.14ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සේවා අපනයන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම්වලින් සමන්විත වේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT