Home » නැව් කාර්ය මණ්ඩලය සමාගම වගකිව යුතුයි
එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය:

නැව් කාර්ය මණ්ඩලය සමාගම වගකිව යුතුයි

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

by sachintha
March 26, 2025 4:51 pm 0 comment

එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබූ කන්ටේනර් දෙකකින් නයිට්‍රික් අම්ලය කාන්දු වීම හේතුවෙන් එම නැව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වී ඇති බැවින් අදාළ නැවේ කාර්ය මණ්ඩලය සහ එම නැව පාලනය කරන සමාගම ඊට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව නීතිපතිවරයා ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

නැවේ තිබූ කන්ටේනර් දෙකකින් නයිට්‍රික් අම්ලය කාන්දු වන බව දැනගෙන දින නවයක් ගත වී තිබූ නමුත් නැව් කාර්ය මණ්ඩලය හෝ නැව් සමාගම මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.

එම නැව ගිනි ගැනීමෙන් ධීවරයන්ට සහ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ මෙම එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අදාළ බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවූ සිද්ධියක් බවට විමර්ශනවලදී පෙනී යන බවය.

එබැවින් රජය මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් වගකිව යුතු නැතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.

එම නැවේ තිබූ කන්ටේනර් දෙකකින් නයිට්‍රික් අම්ලය කාන්දු වීම හේතුවෙන් ගිනි ගැනීම සිදු වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

එම කාන්දු වීම සම්බන්ධයෙන් දැනගෙන දින නවයක් ගත වී තිබුණත් නැව් සමාගම හෝ කාර්ය මණ්ඩලය එය වැළැක්වීමට කිසිදු පියවරක් ගෙන නැති අතර ඔවුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

නීති මූලධර්මයන් අනුව සිද්ධිය සිදු කළ දූෂකයා විසින් වන්දි ගෙවිය යුතු බවත් එවැනි වන්දි ගෙවීමේ නඩුවක් සුදුසු අධිකරණයක පවත්වා අදාළ වන්දි මුදල ලබාගත යුතු බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

සිදු වූ හානියට වන්දි දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අදාළ අනෙකුත් නීති අනුව පෞද්ගලික පාර්ශ්වයකට එරෙහිව විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවත්වාගෙන යා නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා ඇති සහනය ප්‍රදානය කළ නොහැකි බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම අදාළ නැවේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවූ සිද්ධියක් බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිවිල් මෙන්ම අපරාධ නඩු පවරා ඇති බව ද සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අදාළ සිද්ධියෙන් හානියට පත් වූ පුද්ගලයන්ට එම නඩුවේ ලැබෙන වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම කල් තැබිණි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයන් දෙදෙනකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු, වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා, ජේ. ජෙගතීෂ්වරන්, පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

පරිසර ඇමැතිවරයා, ධීවර ඇමැතිවරයා, වරාය ඇමැතිවරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී. කොන්සෝටියම් ලංකා පෞද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති ඇතුළු 12 දෙනකු එහි වගඋත්තරකරුවෝ ලෙස නම් කර සිටිති.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT