මෙරට සිවිල් යුද්ධය පැවති සමයේ මානව හිමිකම් කඩ කිරීම් සිදු කර තිබෙන බවට සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරුන් තිදෙනකුට සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රධානියකුට බ්‍රිතාන්‍ය රජය මඟින් සම්බාධක පනවා තිබේ. නීති විරෝධී ඝාතන කිරීම්, වධ හිංසා සහ ලිංගික හිංසන සිදු කිරීම් සහ ඊට වගකිවයුතු බව සඳහන් කරමින් මෙසේ සම්බාධක පනවා ඇත්තේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රධානියකු වන විනයාගමූර්ති මුරලිදරන් මහත්වරුන්ට එරෙහිවය.
ඒ අනුව අදාළ පිරිසට එක්සත් රාජධානියේ සංචාර තහනම් වන අතර එක්සත් රාජධානිය තුළ වත්කම් එක් රැස් කර තැන්පත් කිරීම ද තහනම් වෙයි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වධ හිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදුකිරීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුව තිබෙන බව සඳහන් කරමින් මෙම සම්බාධක පනවා ඇතැයි එක්සත් රාජධානි රජයේ නිල වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඊට අමතරව මීට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති විවාදයක ද හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහත්වරුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල විය. මේ අතර ඔවුන් දෙදෙනාට අමෙරිකා එක්සත් ජනපදය ද සම්බාධක පැනවීමට මීට පෙර ක්‍රියා කළේය. කෙසේ වුවද මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව රජය සමඟ කටයුතු කිරීමට කැපවී සිටින බව ද එක්සත් රාජධානිය අවධාරණය කර තිබෙන අතර එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමී ප්‍රකාශ කර ඇත්තේ සිවිල් යුද්ධයේදී සිදු වූ සහ අදටත් ප්‍රජාවන්ට බලපාන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සඳහා වගකිව යුත්තන්ට දඬුවම් නොලැබීමට ඉඩනොදිය යුතු බවයි.
ප්‍රජාවන් එක්ව ඉදිරියට යෑමට නම්, අතීත වැරදි පිළිගැනීමක් සහ වගවීමක් තිබිය යුතු බවත් හඳුන්වාදී ඇති සම්බාධක මඟින් ඊට සහාය දක්වනු ඇති බවත් ඔහු පවසා තිබේ.
මහින්ද අලුත්ගෙදර