Home » හිටපු රාජ්‍ය ඇමැති වියලේන්ද්‍රන් රිමාන්ඩ්

හිටපු රාජ්‍ය ඇමැති වියලේන්ද්‍රන් රිමාන්ඩ්

by sachintha
March 26, 2025 4:26 pm 0 comment

වැලි කැණීම් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලස් මුදලක් ගැනීමකට ආධාර අනුබල දීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් හිටපු වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (25) නියෝග කළාය.

හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එස්. වියාලේන්ද්‍රන් මහතා පසුගිය ආණ්ඩුව පැවති සමයේ වෙළෙඳ හා පරිසර රාජ්‍ය ඇමැතිවරයාව සිටියදී ඔහුගේ පෞද්ගලික ලේකම් සහ තවත් අයකු වැලි කැණීමේ බලපත්‍රයක් දීම සඳහා පොලොන්නරුවේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 20ක අල්ලස් මුදලක් ඉල්ලා එම මුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත්තේය.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් කළ දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වූ තොරතුරු මත එම අල්ලස් ඉල්ලීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට මෙම සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරමින් එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස සඳහන් කළාය.

පැමිණිලිකාර පුද්ගලයාට ලබාදීමට අදාළ වැලි කැණීම් බලපත්‍රය පතල් හා භූවිද්‍යා කාර්යාංශය මඟින් සකස් කර තිබී ඇති නමුත් එය පැමිණිලිකරුට නොදෙන ලෙසට සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට බලපෑම් කර ඇති බව ද විමර්ශන නිලධාරීහු පෙර නඩු දිනයකදී අධිකරණය හමුවේ පැවසා සිටියහ.

එම බලපත්‍රය දීම සඳහා එවකට සිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සහ අනෙක් සැකකරු පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ඉල්ලා ඇති බවත් එය ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකාර පෞද්ගලික ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අවස්ථාවේදී එවකට සිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ හිතවතුන් පිරිසක් විමර්ශන නිලධාරීන්ට බලපෑම් කර ඇති බව ද එම නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා එම තනතුරට පත් කිරීමට අදාළ ලිපිය එම අමාත්‍යාංශ කාර්යාලයෙන් අතුරුදන්ව ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු පෙර නඩු දිනයකදී අධිකරණය හමුවේ පැවසූහ.

මේ වන විට එම සැකකරුවන් දෙදෙනා සිටින්නේ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප හතරක් සහ රුපියල් 50,000ක මුදල් ඇප දෙකක් මතය. ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් ද අධිකරණය මඟින් පනවා තිබේ.

සුභාෂිණී සේනානායක, කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT