Home » තරග පාවා දෙන්න යෝජනා කළ යෝගී පටෙල් බරපතළ වැඩ සහිතව වසර 4ක් හිරේට
2024 ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේදී

තරග පාවා දෙන්න යෝජනා කළ යෝගී පටෙල් බරපතළ වැඩ සහිතව වසර 4ක් හිරේට

-උපුල් තරංගට ලක්ෂ 20ක් වන්දි ගෙවන්නත් පටෙල්ට නියෝග

by sachintha
March 26, 2025 4:10 pm 0 comment

ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024 තරගාවලියේදී ක්‍රිකට් තරග මුදලට පාවා දීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ඉන්දියන් සෑම්ප් ආමි කණ්ඩායමේ කළමනාකාර යෝගී පටෙල් නමැත්තාට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් මාතලේ මහාධිකරණ විනිසුරු ඩී.ජී.එන්. රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඊයේ (25) නියම කළේය.

එමෙන්ම චුදිතට රුපියල් ලක්ෂ 850ක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් තවත් වසර 2ක ලිහිල් සිරදඬුවමක් ද නියම කළේය. මෙම සිද්ධියේ පැමිණිලිකාර ශ්‍රී ලංකා ‍ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා පිලේ හිටපු පිතිකරු උපුල් තරංග මහතාට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණයෙන් චුදිතට නියම කෙරිණි. එම වන්දි මුදල නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිරදඬුවමක් ද මහාධිකරණයෙන් නියම කෙරිණි. වසර දෙකක් පුරා දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ඊයේ (25) ප්‍ර‍කාශයට පත් වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම නඩු විභාගය දින පහක් තිස්සේ එක දිගට විභාග වීමෙන් පසුව මෙම නියෝගය ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර තිබුණේ ඉන්දීය ජාතික යෝගී පටෙල් වරදකරු බවය. මෙම චුදිත නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර තිබිණි. මේ වන විට ඔහු මෙරටින් පිටව ගොස් ඇතැයි ද අධිකරණයේදී හෙළිවිණි. ඒ අනුව මොහුට විවෘත වරෙන්තු ද නිකුත් කර ඇත.

මෙම නඩුව විභාග වූයේ එම චුදිත නොමැති අවස්ථාවේදී වුව ද ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් ඉදිරිපත්ව තිබිණි.

ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024 තරගාවලිය 2024 වසරේ මාර්තු මස 08 වැනිදා සිට 19 වැනිදා දක්වා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්විය. එම තරගාවලිය ඩුබායි රාජ්‍යයේ ලියාපදංචි කර ඇති ගේම් ටයිම් වෙචර්ස් ඉවෙන්ට් ඕගනයිසේෂන් එල්.එල්.සී. නමැති ආයතනය මඟින් සංවිධානය කර තිබිණි. මෙම තරගාවලිය සඳහා ක්‍රිකට් කණ්ඩායම් හතක් සහභාගි වී ඇත. පංජාබ් රෝයල්, කැන්ඩි සෑම්ප් ආමි, කලම්බු ලයන්ස්, දිල්ලි ඩෙවිල්ස්, ඩුබායි ජයන්ස්, එන්.වයි. සුපර්ස්ටාර්ස් ස්ට්‍රිකර්ස් සහ රාජස්ථාන් කිංස් එම ක්‍රීඩා කණ්ඩායම්ය.

මෙම නඩුවේ චුදිත යෝගී පටෙල් යන අය පැමිණිලිකාර උපුල් තරංග නමැත්තාට දුරකතනයෙන් කතාකොට ආරම්භක පිතිකරුවන් ලෙස තරගයට පැමිණ තනි ඉලක්කමේ ලකුණකින් පසු තමා විසින්ම දැවී යන ලෙසත් ඒ සඳහා සැලකිය යුතු මුදලක් ඔවුන්ට දීමට සූදානම් බවත් ප්‍ර‍කාශ කර තිබූ බවට අධිකරණයේදී කරුණු හෙළිවිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පැමිණිල්ල මෙහෙයවිය. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජයනාත් රණසිංහ, එම ඒකකයේ ස්ථානාධිපති ප්‍ර‍ධාන පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ, පොලිස් පරීක්ෂක රන්දිල් සංජීව, පොලිස් කොස්තාපල්වරුන් වන (91424) වීරසිංහ, (94910) හේරත් යන නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන, මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT