කොළඹ යූනියන් පෙදෙසේ පාර්ක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොම්පඤ්ඤවීදිය පොලීසිය ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරියගෙන් ඊයේ (25) පෙරවරුවේ පැය දෙකක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය සමඟ සමාජ ශාලාවට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් මෙම පහරදීම සිදුකර තිබුණේ පසුගිය 22 වැනිදා අලුයම් කාලයේදීය. මෙම පහරදීමට සම්බන්ධ තිදෙනකු ආරක්ෂක කැමරා දර්ශන මඟින් පැහැදිලිවම පොලීසිය මඟින් හඳුනාගෙන තිබිණි. රගර් ක්‍රීඩකයන් වන ඔවුන් දෙහිවල, තිඹිරිගස්යාය සහ අත්තිඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් එම සිදුවීමත් සමඟ පලා ගොස් සැඟව සිටින බව පොලීසිය සඳහන් කළේය.
ගැටුම සිදුවූ දින යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය සමඟ සමාජ ශාලාවට ඇතුළු වීමට පැමිණි පිරිස කවුරුන්දැයි ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ යෝෂිත රාජපක්ෂ සහ ඔහු මඟින් හඳුනා ගැනීමක් ද කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. ඒ අනුව පහරදීමට සම්බන්ධ බවට හඳුනාගෙන සිටින සැකකරුවන් තිදෙනාගේ අනන්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීමට පොලීසිය සමත්ව ඇත.
යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම රාත්‍රී සමාජ ශාලාවට ඇතුළු වීමට සූදානම් වන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට පවසා ඇත්තේ සමාජ ශාලා පරිශ්‍රයට ඇතුළු වීමේදී පැලඳිය යුතු අත් පලඳනාව පැලඳ ගන්නා ලෙසය.
මෙහිදී යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි එක් පුද්ගලයකු ඊට විරෝධය දක්වමින් ආරක්ෂක නිලධාරීන් සමඟ ගැටුමකට මුලපුරා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙම අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා සිය බිරිය සමඟ එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඔවුන් දෙදෙනා මෙම පහරදීමට සම්බන්ධ වී නැති බව ද පොලීසිය සඳහන් කරයි.
පලා ගොස් සිටින සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන පවත්වනු ලබයි. එක් කණ්ඩායමක් කොම්පඤ්ඤවීදිය පොලීසියේ අපරාධ අංශයෙන් ද තවත් කණ්ඩායමක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් ද යොදවා තිබේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් පහර දීම සහ නීති විරෝධී ජනරාශිය යන චෝදනා අධිකරණය හමුවේ ගොනු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ