Home » දේශබන්දු නෙරපන්න මන්ත්‍රී යෝජනාවක් කථානායකට

දේශබන්දු නෙරපන්න මන්ත්‍රී යෝජනාවක් කථානායකට

අත්සන් 115ක්

by sachintha
March 26, 2025 4:00 pm 0 comment

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමේ ආණ්ඩු පක්ෂ ජාතික ජන බලවේගය මන්ත්‍රීවරුන් 115 දෙනකුගේ අත්සන් සහිත යෝජනාවක් ඊයේ (25) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ. විෂමාචාර ක්‍රියාවන්, දූෂණ, ධුරයේ බලතල බරපතළ අයුරින් අනිසි ලෙස භාවිත කර නීතිය අවභාවිත කිරීම, රාජකාරි පැහැරහැරීම යන කරුණු හතර ඇතුළු තවත් කාරණා 27කට අධික චෝදනා ගොනු කරමින් පිටු 12කින් යුතු මෙම යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම මඟින් මෙලෙස කථානායකවරයා වෙත භාර දී ඇත. ඒ අනුව ඊයේ (25) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කථානායක කාර්යාලය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහින්ද ජයසිංහ, එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් විසින් මෙම යෝජනාව කථානායක වෙත භාර දී ඇත.

ඒ අනුව අදාළ යෝජනාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම් වෙත යැවෙන අතර එය පසුව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරේ. නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත 2002 අංක පහ දරන පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් එකක් නියෝජනය වන පරිදි අත්සන් කරමින් මෙම යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇත.

එමෙන්ම මෙම යෝජනාව කථානායකවරයා වෙත භාරදීමෙන් පසුව කථානායකවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සිදුවේ. ඒ අනුව අගවිනිසුරුවරයා විසින් නම් කරන විනිසුරුවරයකු මෙම කමිටුවේ සභාපතිත්වය දරන අතර පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා හා නීතිය හෝ රාජ්‍ය පරිපාලන කළමනාකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට තත්ත්වයන් ලබා සිටින තැනැත්තන් අතුරින් අග්‍රාමාත්‍යවරයාගේ හා විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ එකඟත්වය ඇතිව කථානායකවරයා විසින් පත් කරන ලද තැනැත්තකු කමිටුව සඳහා නම් කිරීම සිදුවේ.

ඉන්පසුව අදාළ කමිටුව මඟින් දෙන ලද තීන්දුව ජනාධිපතිවරයා වෙත භාරදීම සිදුවන අතර ඒ අනුව අදාළ තැනැත්තා ඉවත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කිරීම සාමාන්‍ය ක්‍රියාවලිය වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 03 වැනිදා දක්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2023 වසරේ වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට මාර්තු 19 වැනි දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

 

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT