උඩ මහලේ පලතුරු කඩවලට වැඩි පාඩු
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ පළමුවන මහලේ පලතුරු වෙළෙඳාමේ නිරත ව්‍යාපාරික ප්‍රජාව තමන් මුහුණපා සිටින ගැටලුවලට බලධාරීන්ගේ අවධානය යොමු නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පෙරේදා (24) වැනිදා උදෑසන එම වෙළෙඳ සංකීර්ණය තුළදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම උද්ඝෝෂණයට එක්වූ ව්‍යාපාරික ප්‍රජාව තමන් මුහුණ පා ඇති වසර හතරහමාරක් මුළුල්ලේ නොවිසඳුණු ගැටලු පිළිබඳව මෙසේ අදහස් දැක්වූහ.
“අපි කොළඹ මාර්කට් එකේ හිටපු පාරම්පරික වෙළෙන්දෝ. අත්තා මුත්තා පරම්පරාවෙන් අපිට උරුම වුණු ඒ බිම රටේ සංවර්ධනයට කියලා රජයෙන් ඉල්ලුවම ඒක දීලා අපි මෙතෙන්ට ආවා. දැන් අපි එදාට වඩා වැඩි කුලියක් මේ කඩකාමරවලට ගෙවන්නෙ එදා ලබපු ආදායමෙන් හතරෙන් එකක්වත් නැතුව. අපේ ව්‍යාපාර කඩා වැටිලා. ඒ වගේම කියන්න කනගාටුයි අපට ආරක්ෂාව, සනීපාරක්ෂාව කියන මානව හිමිකම් දෙකම මේ අක්කර 13ක භූමිය තුළදි ලැබෙන්නෙ නැහැ. පෞද්ගලික ආරක්ෂක අංශයක් ඉන්නවා. ඒත් වැඩක් නැහැ. දවස ගානේ බඩු මලු නැතිවෙනවා. ගිය සතියේ කොමඩු කිලෝ තුන්සීයක් නැති වුණා. රුපියල් 30,000කට වැඩි පාඩුවක් ව්‍යාපාරිකයට දරාගන්න වුණා. පෝයදාට විදුලිය නෑ. ආරක්ෂක කැමරා විදුලිය නැතුව වැඩ කරන්නෙ නෑ. එදාට හොරකම් වැඩියි. කුණු දාන්න මලු දෙන්නම් කිව්වා. විශාල මාර්කට් එකක අපද්‍රව්‍ය මල්ලකට දෙකකට සීමා කරන්න පුළුවන්ද? අද දවසෙ ගිහින් බලන්න මැනිං මාර්කට් එකේ කුණු පල් වෙලා ඒ පළාතේ යන්න බැහැ දුර්ඝන්ධය. කසළ ඉවත් කරන්න දාලා තියෙන අවුරුදු 60, 70 වයස්වල කම්කරුවගේ වැටුපෙනුත් ගසා කන බවට තොරතුරු ලැබෙනවා. දෙදාහක් විතර ජනතාවට වැසිකිළි හතරයි තියෙන්නේ. අපි මේ වැසිකිළියට එක වතාවට රුපියල් 30.00ක් ගෙවන්න ඕනේ. මේ ව්‍යාපාරික ප්‍රජාවත්, සේවකයොත්, කම්කරුවොත් අතරෙ දියවැඩියා රෝගීන් ඉන්නවා. අපි මෙතනට එන්නෙ පාන්දර දෙකට තුනට. එතකොට දවසට රුපියල් 150.00ක් විතර වැසිකිළි ගාස්තු ගෙවන්න වෙලා තියෙනවා. දවසට රුපියල් දාහක් හොයන කම්කරුවට රුපියල් එකසිය පනහක් දෙසීයක් වැසිකිළි ගාස්තුව ගෙවුවම තේ කෝප්ප දෙකක් බීලා බනිස් ගෙඩියක් කෑවොත් බස් එකේ යන්නවත් සල්ලි ඉතුරු වෙන්නෙ නෑ.
“ඒ වගේමයි රථගාලේ සිද්ධ වෙන අසාධාරණ. හයර් එකක් ඇවිත් කස්ටමර් දාලා මෙතනින් හැරෙවුවත් මේ රථගාලේ ටිකට් කඩනවා. විනාඩි දහයට පාර්කින් ගාස්තු අය නොකිරීමේ රජයේ නියෝගය මැනිං මාර්කට් එකට වලංගු නැහැ. කඩකුලී ගෙවන අපේ වාහනේ පාර්ක් කරන්නත් මුදල් අය කරනවා. වාහන ඇතුළු කරන ප්‍රධාන දොර ළඟ තියෙන ගැප් එකෙන් බර පටවපු වාහනවල දුණුකොළ කඩලා යනවා. වවුනියාවෙ ඉඳන් ගස්ලබු අරන් ආපු ලොරි රථයේ දුණුකොළ සෙට් එකම ගියා. පාඩුව ලක්ෂ දෙකට වැඩියි. වවුනියාව, මඩකළපුව, යාපනේ, හම්බන්තොට, ඇඹිලිපිටිය, නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ ඈත දුර ගම්පළාත්වලින් එන ව්‍යාපාරිකයො ඒ වගේ වාහන පාර මැද කැඩුනම, අන්ත අසරණ වෙනවා. වැස්සට ආවරණයක් මේ කඩකාමරවල නැහැ. වැහිවතුරට අහුවුණු ගමන් පහුවදාට පලතුරු කුණු වෙනවා. මේ කඩකාමර හදලා තියෙන්නේ කිසිම ප්‍රමිතියක් තොරවයි. පලතුරු වෙෙළඳුන්ට මුලින්ම ලැබුණේ පහත මාලයේ කඩ. නමුත් එවකට හිටපු සභාපතිගේ ඉල්ලීමට අපි එළවළුවලට බිම් මහල දීලා උඩට ආවා. මේ වෙනකොට පහත මහලේ පලතුරු කඩ හැත්තෑවක් තියෙනවා. පලතුරු කඩ තුනක් තියෙද්දි අපි පැමිණිලි කළා. නාගරික සංවර්ධන අධිකාරිය ඒක නවත්වන්න පොරොන්දු වුණා. ඒත් මෙතෙක් ක්‍රියාත්මක නැහැ. පාරිභෝගිකයන් පලතුරු ගන්න උඩුමහලට එන්නෙ නැහැ. අපේ ව්‍යාපාර කඩා වැටිලා අද අපි අන්ත අසරණයි. අනෙක් ප්‍රධානම කරුණ මේ මැනිං මාර්කට් එකට එන්න පොදු ප්‍රවාහන පහසුකම් නැති වීම. බස් නැවතුම්පොළවල් දෙකක් මහජන මුදලින් හදලා මාධ්‍ය සංදර්ශන දැම්මට ඒ බස් මාර්කට් එක හරහා දිව්වෙ එදා විතරයි. රුපියල් 1000, 2000ක් අතේ තියන් එන පාරිභෝගිකයන්ට එළවළු මාළු පොඩ්ඩක් අරන් මේ කිලෝමීටරයට වඩා දුරක් ප්‍රධාන පාරට ත්‍රීවිල්වල යන්න සල්ලි නෑ. මැනිං මාර්කට් එක පෑලියගොඩට ගෙනාවට පොදු ප්‍රවාහනයක් මේ මාර්කට් එක හරහා යොදවන්න අවුරුදු පහක කාලයට ආණ්ඩු අපොහොසත් වෙලා තියෙනවා. ව්‍යාපාරිකයන්, සේවකයන් ඔක්කොම 2,000කට වැඩිය ඉන්න මාර්කට් එකට තියෙන්නේ එක ටැප් එකයි. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා අඩු ආදායම්ලාභී අහිංසක අසරණ පාරිභෝගිකයන්, සාමාන්‍ය ව්‍යාපාරිකයන් අසරණ නොකර මේ මාර්කට් එක හරහා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් කඩිනමින් ලබා දෙන්න කියලා.”
උද්ඝෝෂණයෙන් පසුව ව්‍යාපාරිකයෝ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පත් කරනු ලැබ ඇති මැනිං වෙළෙඳ සංකීර්ණයේ කළමනාකරු සමන් ජයසුන්දර මහතා මුණගැසී ගැටලු ඉදිරිපත් කළහ. ඔහු පැවසුවේ, රථගාලේ පවතින වංචනික මුදල් අයකිරීම සම්බන්ධයෙන් සොයා බලා සහනයක් සලසන බවත්, ප්‍රධාන ඇතුළුවීමේ මාර්ගය අසල වාහන ඇතුළු කිරීමට ඇති බාධකය කඩා ඉවත්කර වාහන ඇතුළු කිරීමට හැකි වන පරිදි කඩිනමින් සකසා දෙන බවත්ය.
රාගම සමූහ – කේ.එස්. හැන්නදි