දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා තේරී පත් විය.
ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගියදා (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම තෝරා ගැනීම සිදු කළ අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා සහභාගී විය.
ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙණෙවිය තේරී පත් විය.
චීනය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක සිට පවත්වාගෙන එන දිගුකාලීන ද්විපාර්ශ්වික සංස්කෘතික,දේශපාලන සබඳතාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මෙහිදී සිහිපත් කළේය.
පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මෙම සබඳතා වැඩිදියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් බව ඒ මහතා පැවසුවේය. එසේම දෙපාර්ශ්වයටම උපරිම ප්රතිලාභ ලබාගැනීම සඳහා ආර්ථික, වෙළෙඳ, අධ්‍යාපන, තාක්ෂණික වැනි ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමේ වැදගත්කමත් ඒ සඳහා මෙම සංගමයේ නව වගකීම්වලට පත්වන නිලධාරීන් ක්‍රියාශීලීව වැඩකටයුතු කළ යුතු බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා මිත්‍රත්ව සංගමය ඔස්සේ දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්රවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ශ්‍රී ලංකාව හා චීනය, තම අසීරු අවස්ථාවලදී ඉතා මිත්රශීලීව අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම පිළිබඳව ද සිහිපත් කළ ඒ මහතා චීන -ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නව නිලධාරි මඬුල්ලට සිය ශුභාශිංසන පළ කළේය.
සංගමයේ සභාපතිත්වයට තේරී පත්වීම පිළිබඳ සිය කෘතඥතාව පළ කරමින්, නව සභාපති, ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා, දීර්ඝ කාලයක් තිස්සේ චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ කළ මිත්‍රශීලී සහයෝගය ඇගයීමට ලක් කළේය. විශේෂයෙන් අධ්‍යාපන හා වෙළෙඳ කර්මාන්ත වැනි ක්ෂේත්රවල චීනය සතු දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ සභාපතිවරයා ශ්‍රී ලංකා – චීන සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සියලුම සාමාජිකයින්ට ආරාධනා කළේය. එමෙන්ම මෙහිදී පසුගිය චීන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකා නියෝජිතයින් වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් හා වැඩමුළු මෙම පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ට ද ලබාදෙන මෙන් ඉල්ලීමක් ද සිදු කළේය.
මෙහිදී ස්තුති කතාව සිදු කරමින් සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, මෙම සංගමය තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක සිට පවතින සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට විපක්ෂ නායක, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ස්වර්ණා විජේකෝන්,
සන්ධ්‍යා කරුණාරත්න