දිවයිනේ ප්‍රමුඛ පෙළේ බීඩි නිෂ්පාදන සමාගමක නම භාවිත කරමින් නීති විරෝධී ලෙස බීඩි නිෂ්පාදනය කොට ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සෙබළකු රුපියල් ලක්ෂ 10කට ආසන්න බීඩි තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල රාගහවෙල හල්කඳවිල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි යුද හමුදා සෙබළෙකි.
බෙන්තර පාලම අසල පිහිටුවා ඇති මාර්ග බාධකයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස අසුරා දකුණු පළාතට ප්‍රවාහනය කරමින් සිටි මෙම නීති විරෝධී බීඩි තොගය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
ලක්‍ෂ 10කට ආසන්න වටිනාකමින් යුත් බීඩි තොගය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයාට එම බීඩි ප්‍රවාහනය කිරීම සඳහා කිසිදු අවසර පත්‍රයක් නොමැති බවත් ලංකාවේ බීඩි නිෂ්පාදනය සඳහා ලියාපදිංචි ප්‍රමුඛ සමාගම් දෙකකට අයත් බීඩි එම පුද්ගලයා විසින් එම ආයතනයේ නම සහ වෙෙළඳ සලකුණු සූක්ෂම ලෙස අනුකරණය කරමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව හෙළිවී ඇත.
මතුගම සමූහ – බී.ටී. තඹවිට