Home » රට වටෙන්ම ත්‍රිරෝද රථ සොරාගෙන විකුණලා හොර කල්ලියේ හත්දෙනා අත්අඩංගුවට

රට වටෙන්ම ත්‍රිරෝද රථ සොරාගෙන විකුණලා හොර කල්ලියේ හත්දෙනා අත්අඩංගුවට

by sachintha
March 26, 2025 4:38 pm 0 comment

වැල්ලම්පිටිය පොලීසියට ඔත්තුව දුන්නේ කුඩ්ඩෙක්

මුහුණු පොතෙන් පටන් අරන් ඒජන්තලා දක්වා ජාවාරම නග්ගලා

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන චැසි සහ එන්ජින් අංක මෙන්ම වර්ණ වෙනස් කර විකිණීමේ ජාවාරමක යෙදුණු හත්දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලීසිය කියයි.

එම සැකකරුවන් සමඟ රුපියල් කෝටියකට අධික වටිනා ත්‍රිරෝද රථ 13ක් පොලිස් භාරයට ගෙන ඇත‍.

වැලිකඩ සහ වැල්ලම්පිටිය පොලීසි වෙත වාර්තා වී තිබූ ත්‍රිරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10400ක් සමඟ අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළි කළ තොරතුරු අනුව සැකකරුවන් ඒකල, හෝමාගම, කිරිඳිවැල, කඩවත සහ මහනුවර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

සැකකරුවන් විසින් වසරක පමණ කාලයක සිට වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ හා වැලිකඩ පොලිස් වසම්වලින් සොරා ගත් ත්‍රිරෝද රථ කුරුණෑගල, කඩවත සහ කිරිඳවැල ප්‍රදේශවලට රැගෙන ගොස් එහි චැසි අංක සහ එන්ජින් අංක මකා දමා වර්ණ වෙනස් කර වෙනත් වාහන පොත්වල සඳහන් ලියාපදිංචි අංක මෙම ත්‍රිෙරා්ද රථවලට කොටා විකිණීමේ ජාවාරම සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් මුල් කාලයේදී මුහුණු පොත හරහා මෙම ත්‍රිරෝද රථ එලෙස විකුණා ඇති අතර ඉන් අනතුරුව විවිධ පුද්ගලයන් හරහා කැකිරාව, අම්පාර, නුවර, කුරුණෑගල, කඩවත, ඒකල, හෝමාගම, කිරිඳිවැල, මිනුවන්ගොඩ, කුලියාපිටිය හා මාවනැල්ල ප්‍රදේශවලට විකුණා ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

මෙයාකාරයෙන් තවත් ත්‍රිරෝද රථ දහයක් පමණ සැකකරුවන් විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි දීප්ති කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රොෂාන් අසංක, පොලිස් සැරයන් කෝසල, කොස්තාපල්වරුන්වන අනුෂ්ක, රත්නායක, හේෂාන්, සඳරුවන්, තුසියදන්, ජයතිලක, දිල්ෂාන්, තිනේශ් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම සමූහ – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT