ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ එකඟ විය නොහැකි කොන්දේසිවලට යම් පමණකින් එකඟ වීමට සිදු වූයේ මෙරට ආර්ථිකයේ ජාතික පංගුව දුර්වල වීම නිසා බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කළ 25 වැනි අපනයනකරුවන්ගේ සංසදය පෙරේදා (24) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැති අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
අපනයනකරුවන් විසින් තම ගැටලු 110ක් මෙම සංසදය සඳහා ඉදිරිපත් කළ අතර, එයින් සමාගම් ගැටලු 79ක් සෘජුව ද ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL) සහ ලංකා වාණිජ මණ්ඩලය වැනි කර්මාන්ත සංගම් මඟින් ගැටලු 31ක් ද ඉදිරිපත් විය. ඉන් ගැටලු සැලකිය යුතු ප්‍රමාණයක් අපනයන කාර්යසාධක බළකාය හරහා අදාළ ආයතනවලට යොමුකර විසඳමින් පවතින අතර, ගැටලු 37ක් (ප්‍රධාන මාතෘකා 17කට වර්ගීකරණය කරමින්) සංසදයේදී සාකච්ඡා කිරීමට ප්‍රමුඛතාවය ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.
වත්මන් ආණ්ඩුව නිෂ්පාදන ආර්ථිකය තුළ අපනයන වර්ධනයට ප්‍රමුඛත්වය දෙනවා. ඒ සඳහා සහයෝගය ලබාදෙනවා.
ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීම සහ ගෝලීය වෙළෙඳපොළ තුළ තිරසර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාවය වැදගත් වෙනවා.
අපනයන ක්ෂේත්‍රයට ඉඩම් ප්‍රශ්නය විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. මේ ක්ෂේත්‍රය දියුණු කරන්න නම් ඉඩම් අවශ්‍යයි. මේ ගැන ජනාධිපතිවරයා එක්ක අපි සාකච්ඡා කළා. ඉඩම් බැංකුවක් අපිට අවශ්‍යයි. පලාලි ගුවන් තොටුපළ සහ වරාය ඒකාබද්ධ කරලා උතුරේ අපනයන කලාපයක් ඇති කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා.
රට පුරා අපනයන ගම්මාන නවයක් අලුතෙන් හඳුනාගෙන තිබෙනවා. අමුද්‍රව්‍ය සඳහා බදු පැනවීම නිසා අපේ අපනයන කර්මාන්තය දුර්වල වෙලා.
අවුරුද්දක් තුළ ඩොලර් බිලියන තුනකින් අපනයන ආර්ථිකයේ ආදායම ඉහළ නැංවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත්ත ණය හා සමානයි අපේ මේ අවුරුද්දේ අපනයන ඉලක්කය. හැකිනම් කරමු. නැතිනම් කෙසේ හෝ කරමු යන තේමාවත් එක්ක තමයි අපි වැඩ කරන්නේ.
අනුමැතිය ගන්න ටෙන්ඩරය පාස් කරන්න දේශපාලන වශයෙන් කිසිම ඇමැතිවරයකුගේ පසුපස යන්න අවශ්‍ය නැහැ. ඇමැතිවරුන්ට පගාවක් දෙන්න වෙලා නම් මට කතා කරන්න. ඉන්දියාව, චීනය, සිංගප්පූරුව වගේ රටවල් එක්ක පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් අනුව හෝ අලුතින් ඇතිකර ගන්නා නිදහස් වෙළෙඳ ගිවිසුම් අනුව කටයුතු කරන්න බය වෙන්න එපා.
නෙරංජලා වික්‍රමසිංහ