ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරු පරපුරක් බිහිකිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මඟින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (25) පැවැති අවස්ථාවේදී අගමැතිනිය මේ බව පැවසීය.
තවදුරටත් අගමැතිනිය මෙසේද පැවසුවාය.
ලෝකයේ දැනුම අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා දරු පිරිස සූදානම් කිරීම මෙන්ම ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අපේක්ෂාවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් රැකියා වෙළෙඳපොළ අරමුණ කිරීම පමණක් නොව සමාජයට නායකත්වය දෙන ආර්ථිකයට දායකවිය හැකි කුසලතා පිරි යෞවනයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.
පාසල් අතර සම්පත් බෙදී යෑමේ විෂමතාව නැති කිරීම ආණ්ඩුවේ අරමුණයි.
කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට “Clean Sri Lanka” ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම හා එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ද මෙහිදී අවස්ථාව උදා විය.
ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ සැකසුණු ‘විෂන්’ සඟරාවෙහි සමරු කලාපය පාර්ලිමේන්තු කටයුතු සහ විධායකගේ කාර්යභාර සම්බන්ධ සහකාර අධ්‍යක්ෂ නදීක දංගොල්ල මහතා අගමැතිවරියට පිළිගැන්වීය.
විශාඛා විද්‍යාලයේ විදුහල්පති මනෝමි සෙනෙවිරත්න මහත්මිය අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා –
නායකත්වය මමත්වයෙන් තොර විය යුතුයි. මමත්වයෙන් තොර නායකයන් රට මෙන්ම ජනතාව හොඳ දිශානතියකට ගෙන යනවා. ඒ සඳහා කුසලතා ප්‍රගුණ කළ යුතුයි. ලංකා ඉතිහාසයෙන් හෝ ලෝක ඉතිහාසයෙන් දක්ෂ නායකයන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. චණ්ඩාශෝක, ධර්මාශෝක වූ ආකාරය මෙන්ම හිට්ලර්ගේ ඒකාධිපතිවාදයෙන් ලෝකය විනාශයට ඇද දැමූ ආකාරය දරුවන් ලෙස අධ්‍යයනය කළ යුතුයි. අවම පාරිභෝජනවාදයක් ඇති, රට ගැන හිතන නායකයන් බිහිවීම රටක ස්ථාවරත්වයට පහසු මගයි. එම නිසා රට ගැන හිතන අභියෝග දරාගත හැකි නායකයින් බිහි කිරීමට අප කටයුතු කළ යුතුයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා –
අද මේ පාර්ලිමේන්තු සභාගර්භයේ සිටින්නේ අනාගත නායකයන් නොවෙයි. මේ දියණියන් සියලු දෙනාම නායකයන්. මොකද නායකයන්ට වයස් භේදයක් නැහැ. කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින තැනැත්තා නායකයෙක් වෙනවා. කණ්ඩායමේ බලය ක්‍රියාත්මක කරන අයද නායකයෙක් වෙනවා. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වචනයකින් හෝ දායකත්වය දැක් වූ නායකයන් අපේ රටේ ඉතිහාසයේ සිටියා. ඒ නිසා තාර්කික බුද්ධිය භාවිත කිරීම තුළින් තීන්දු තීරණ ගත යුතුයි. ඒ සඳහා නායකයාට හා පුරවැසියාට වගකීමක් තිබෙනවා. තාර්කික බුද්ධිය හරහා ලස්සන රන් බිමක් නිර්මාණය කිරීමට ඔබට යුතුකමක් තිබෙනවා. ඒ සඳහා සෑම දරුවෙකුටම වගකීමක් තිබෙනවා.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හිමාලී වීරසේකර, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ.එම්.එන්. කුමාරසිංහ, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්. විජේබණ්ඩාර යන මහත්ම මහත්මීහුද, විශාඛා විද්‍යාලයීය විදුහල්පති මනෝමි සෙනෙවිරත්න මහත්මිය ඇතුළු ගුරුභවතුන් හා ශිෂ්‍යයාවන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.