Home » මැලේසියාවේ මෙරට ආයෝජන අවස්ථා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර

මැලේසියාවේ මෙරට ආයෝජන අවස්ථා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර

by sachintha
March 26, 2025 8:16 am 0 comment

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මැලේසියාව තුළ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ.

ක්වාලාලම්පූර්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවලදී කොළඹ වරාය නගරය සමඟ එක්ව මැලේසියාවේ ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් මාලාවක් පවත්වා තිබෙන අතර, ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, මැලේසියානු ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම, ශ්‍රී ලංකාවේ ආයෝජන විභවය ප්‍රදර්ශනය කිරීම ආදිය අරමුණු කරගෙන මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මැලේසියාවේ ශ්‍රී ලංකා වැඩබලන මහකොමසාරිස් එම්. අයි. මොහොමඩ් රිස්වි මහතා විසින් කොළඹ වරාය නගරය මැලේසියාවේ ආයෝජන, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය වෙත හඳුන්වා දී තිබෙන අතර, නියෝජ්‍ය ඇමැති චින් ටොං ලීව් මහතා සමඟ සාකච්ඡාවක් ද පවත්වා තිබේ. සාකච්ඡාව අතරතුර කොළඹ වරාය නගරයේ ප්‍රධාන ආයෝජන අවස්ථා හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථිකය තුළ වැඩි වැඩියෙන් මැලේසියානු ආයෝජන දිරිමත් කිරීමෙන් මැලේසියාව සමඟ ශ්‍රී ලංකාවේ වෙළෙඳ අසමතුලිතතාවට පිළියම් යෙදීමේ වැදගත්කම ද අවධාරණය කර ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මැලේසියානු – ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය (MSLBC) සමඟ ව්‍යාපාර (B2B) සැසි සංවිධානය කර තිබෙන අතර, මැලේසියානු – ලංකා ව්‍යාපාරික ප්‍රජාව සමඟ ද සම්බන්ධවී තිබේ. මේ සැසිවාර විභව ආයෝජකයන් සමඟ ඍජුව සම්බන්ධ වීමට සහ කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමේ ප්‍රතිලාභ ඉස්මතු කිරීමට වේදිකාවක් සපයා තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මීට අමතරව දූත මණ්ඩලය ක්වාලාලම්පූර් සහ සෙලන්ගෝර් ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (KLSICCI) සමඟ වැරදි වැටහීම් මැඬපැවැත්වීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ මැලේසියාවේ ඉන්දියානු සම්භවයක් ඇති ව්‍යවසායකයන් සමඟ වෙළෙඳ හා ආයෝජන හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා කිරීමට පහසුකම් සපයා ඇත.

කොළඹ වරාය නගර පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ ශාලක විජේරත්න මහතා ද මේ අවස්ථාවට එක්ව ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT