යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාරයේ සැලසුම සම්බන්ධව අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක කණ්ඩායම සිදු කළ රහසිගත සාකච්ඡාවක් ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් පෙන්ටගනය කැලඹීමට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෑත ඉතිහාසයේ අමෙරිකානු ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වූ වඩාත්ම බරපතළ සිදුවීම මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කණ්ඩායමක් විසින් හවුති කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාරයේ සැලසුම සම්බන්ධව පණිවුඩ සටහන් මඟින් එම සාකච්ඡාව සිදු කර ඇත්තේ සිග්නල් නමැති ආරක්ෂිත පෞද්ගලික සංවාද යෙදුමක් භාවිතයෙන් බවත්, ඔවුන්ගේ සංවාද සමූහයට අහඹු ලෙස සම්බන්ධ වූ ඇට්ලාන්ටික් සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් විසින් එම පුවත ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ ආරක්ෂක නිලධාරින් විමතියට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගේ සමූහ සංවාදයකට පිටස්තර පුද්ගලයකු එක්වීම පිළිබඳ ඔවුන් දැනුවත්ව නොසිටීම ගැටලු සහගත බවත්, එම පිටස්තර පුද්ගලයා මාධ්‍යවේදියකු වීම වඩාත් බරපතළ කරුණක් බවත් අමෙරිකාවේ හිටපු ආරක්ෂක ප්‍රධානීහු ප්‍රකාශ කර තිබේ.
අමෙරිකාවේ උප ජනාධිපති ජේඩී. වැන්ස් සහ ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් ද එක්වූ එම සාකච්ඡාවට එක්වීම සඳහා තමාට ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස්ගේ බවට සඳහන් වූ ඇරියුම් ප්‍රවේශ කේතයක් සිග්නල් යෙදවුම ඔස්සේ ලැබුණු බව ඇට්ලාන්ටික් සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා පසුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම සංවාදය සිදුවී ඇත්තේ හවුති ප්‍රහාරයට පැය කිහිපයකට පෙර බවත්, ප්‍රහාරය සඳහා භාවිතයට ගනු ලබන හමුදා උපකරණ සහ ප්‍රහාරය සිදු කරන වේලාව ඇතුළුව සියලු තොරතුරු ඇට්ලාන්ටික් සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා අතට පත්වී ඇති බවත් වාර්තා වේ.