Home » සෙනසුරු මාරුව රටට ජනතාවට බලපාන අන්දම

සෙනසුරු මාරුව රටට ජනතාවට බලපාන අන්දම

by sachintha
March 26, 2025 4:33 pm 0 comment

 

ශ්‍රී විෂ්ණු : ධෘත සංඛ පද්ම චක්‍රඃ

ගෞහාන් චතුර් භුජ ධරඃ

ලක්ෂ්මී වෘක්ෂ්‍ය සූනිත්‍ය සේවිත තන්ත්‍රඃ

ස්වර්ණාස්‍ය ජාමූත් ඵලඃ

යන විෂ්ණු ආරාධනා ශ්ලෝක 3 වතාවක් කියා

“නීල වණ්ණෝ මහා තේජො – බලො ගුරළ වාහනෝ

වේණු නාමෝ දේව රාජා – ඉමං පුඤ්ඤානුමෝදතු

යන මෙම ගාථාවෙන් විෂ්ණු දෙවියන්ට පින අනුමෝදන් කර පසුව සෙනසුරු ග්‍රහදේවතාවුන් වන්දනා කරන්න.

“සෙනසුරු” යන වචනය ව්‍යවහාරයේ දී භාවිත කිරීම සුලබව දැකගත හැකිය. සෙන් + ඉසුරු යන පද එක්ව සැකසී ඇති වචනයෙහි ‘ඉසුරු සේනාවක්’ යන්න අර්ථ දරයි. ‘හෙනහුරා’ සේ ගමේ භාෂාවෙන් හඳුන්වන සෙනසුරු ග්‍රහයාට, ශනි යන නමින් ද ආමන්ත්‍රණය කරයි.

සෙනසුරු ග්‍රහදේවියගේ පැවැත්ම එක් රාශියකදී අවුරුදු දෙකහමාරක කාලයක් තම අධිකාරිත්වය දරාගෙන කටයුතු කිරීමයි. එලෙස කුම්භ රාශියෙන් මීන රාශියට ක්‍රිස්තු වර්ෂ 2025ක් වූ මාර්තු මස 29 වැනි ශනි දින හෙවත් සෙනසුරාදා රාත්‍රී 9.41ට සම්ප්‍රාප්ත වේ.

“සෙනසුරු” හෙවත් “ශනි” ග්‍රහයා, ග්‍රහයන් අතරින් මිනිසුන් වැරැදියට තේරුම් ගත් ග්‍රහයෙකි. බොහෝ දෙනෙක් සෙනසුරු සත්ත්වයන්ට දුක් දෙන පාපි ග්‍රහයෙක් ලෙස හඳුනා ගනී. එහෙත් දේව පුරාණවල සඳහන් වන්නේ කර්ම පලය ක්‍රියාත්මක කරන්නා ලෙසයි.

“ශනිගේ” පියා වන්නේ ග්‍රහලොව රජු සූර්ය දෙවියින්ය. මව ඡයා දේවියයි. සහෝදරයා යම රජතුමායි. ශනි දෙවියන් මෑණියන්ගේ කුසේ සිටි කල ඡායා මෑණියන් ශිව දෙවියන් වෙනුවෙන් උග්‍ර තපසක් රැක ඇත. මේ නිසාවෙන් සෙනසුරු ශිව දෙවියන්ට ආදරය දක්වන අතර ශිව දෙවියන්ගේ ප්‍රසාදය දිනාගත් නිසාවෙන් ‘ශනීස්වර’ ,‘ශනේස්වර’ ආදි නාමයෙන්ද අමතයි. ශනි නියෝජනය කරන්නේ වැඩ කරන ජනතාවයි. දුර්වලයා, දුප්පතාව, නිර්ධන පන්තිය, හිඟන්නෙක්ව රජ කරවීමටත් රජාව හිඟන්නෙක් කරවීමටත් ‘සෙනසුරු’ට පුළුවන.

ශනි කියන්නේ කප්පම්වලින් රැවටෙන්නේ නැති කෙනෙක් වුවත් ශනි වෙනුවෙන් පූජා පැවැත්වීමෙන්, පින්වැඩ සිදු කිරීමෙන්, එතුමන්ගේ ආශිර්වාදය ලබාගෙන අපේ ජීවිතවලට සුබ වෙසක් ඇති කරගැනීමට පුළුවන.

“සෙනසුරු” මිතුරෙකු කර ගන්නා හැටි

සෙනසුරුගේ ආශිර්වාදය ලබාගැනීමට වෙහෙස නොවී පහත සඳහන් දෑ සිදු කිරීමෙන් සෙනසුරු අපලයෙන් පීඩා නොවිඳ සිටීමට හැකියාව ඇති වෙයි.

1. ශනි අපගේ ජීවිතවල අනවශ්‍ය දේවල් ඉවත් කරයි. එබැවින් අනවශ්‍ය සබඳතා, නිවෙසේ ඇති අනවශ්‍ය භාණ්ඩ ඉවත් කර පිරිසුදු පරිසරයක වාසය කිරීම මඟින් ශනිගේ යහපත් ආශිර්වාදය අපගේ ජීවිතයට ලැබෙයි. 2. දැහැමි, නිහතමානි, සමාජ සාධාරණ චරිතයක් බවට පත් වීම. 3. පරෝපකාරය 4. බුද්ධ වන්දනා, බෝධි වන්දනාව 5. සෙනසුරාදා දිනවලදී වර්තමානයට සිත පිහිටුවා අතීතය ගැන නොසිතා ද, අනාගතය පිළිබඳ සිතීමෙන් වැළකී මේ මොහොතේ සතුටින් සිටීම. 6. සෙනසුරාදා දිනකදී හෝ තමන් මහන්සියෙන් ඉපැයූ ධනයෙන් කුඩා හෝ ආහාරයක් දුගීන්ට දීම.

7. එක් දිනක් හෝ මස් මාංසවලින් තොරව සිටීමට උත්සුක වීම.

රටට ශනිගේ බලපෑම

ලෝක ජ්‍යොතිෂයට අනුව ලංකා කේන්ද්‍රයේ දෙවැන්නේ සිදුවන ශනිගේ ගෝචරය ඒරාෂ්ටක තත්ත්වයකි. එබැවින් රාජ්‍ය සේවය යම් යම් වෙනස්කම් දැක ගත හැකි වන අතර පාලන ක්‍රමයේ ද විවිධත්වයක් ඇති වේ. අලුත් නීති රීති හඳුන්වා දීමක්, රාජ්‍ය සේවකයන්ට විවිධාකාර අභියෝගවලට මුහුණ දීමටත් වනු ඇත.

ග්‍රහ සංක්‍රාන්තියෙන් මැයි මස අවසානය දක්වා ළඳුන් හට පීඩාකාරි ස්වභාවයක් පෙන්නුම් කරයි. එබැවින් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ ගැටලු, නව අධ්‍යාපන ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරණ නිසාවෙන් මහජනයාගේ කැලඹීමක් වන්නට පුළුවන. උගතුන්ගේ නික්ම යෑම් ද සිදුවෙයි. වනිතාවන්ගේ නව පිබිදීමක් ඇති වේ.

කලාකරුවන්ට සුබ කාලයක් උදාවේ. වෙනදාට වැඩියෙන් මහජනයා කලාකරුවන්ට සමීප වේ. ජනප්‍රිය වේ.

නව මුහුණවරකින් ආගමික වැඩසටහන් ආරම්භ වෙන අතර තරුණ තරුණියන්ගේ අවධානය ඒ සඳහා යොමු වේ. විදේශිකයන් පවා ලංකාවේ සමාජයීය, සාමයික අංශයන් කෙරෙහි නැඹුරු වීමක් දක්නට ලැබේ.

කාලගුණික වශයෙන් අධික වර්ෂාව, ගංවතුර අවදානම, කඳු නායයෑම් ආදි ස්වභාවික ව්‍යසනයන් ඇතිවීමට පුළුවන. සහල් අර්බුදය වැඩිවීමක් දැකගත හැකිය. රටේ ආහාර නිෂ්පාදනවලට ප්‍රශ්න ඇති වේ.

ලග්නවලට බලපෑම් කරන සෙනසුරු

මේෂ ලග්නය

සෙනසුරු ඔබේ 12 වැනි ස්ථානයට හෙවත් භාවයට ගමන් කරනවිට, වැඩිපුර අභියෝගවලට මුහුණදීමට සිදුවේ. වියදම් වැඩිවීම හා ස්ථාවර බව අඩුවේ. මූල්‍ය කටයුතුවලදී ඉතාම ප්‍රවේශම් විය යුතුයි. සිහියෙන් හා කල්පනාවෙන් අවබෝධයෙන් කටයුතුවල නියැළීම සිදු කිරීමෙන් මානසික තෘප්තිය ඇති කරගත හැකිය. දිගු කාලීන අරමුණු කෙරෙහි අවධානය යොමු කිරීමට මතක තබා ගත යුතුයි. වැරැදි වැටහීම් නිසා පෞද්ගලික සබඳතාවලට පීඩා ඇති කරයි.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 11 භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. අප සිදු කරන හොඳ නරකවල ප්‍රතිඵලය ලබාදෙන ස්ථානයකි. රැකියාවෙන් උසස් තැනකට පැමිණීම, වෘත්තීය දියුණු වීමට, විභාග ආදියෙන් ජයගැනීමට හැකිය. මුදල් භාවිතයේදී රථවාහන ධාවනයේදී, යන්ත්‍ර හා උපකරණ හා පරිහරණයේදී, නිදන්ගත රෝග ආදියෙන් සිටිනවානම් සැලකිලිමත් විය යුතුයි. විවාහ ජීවිතය සාර්ථකව ගත කරයි.

මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ දසවැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. ශාරීරික, මානසික ශක්තිය වැඩි කාලයකි. ප්‍රතිවාදීන් අබිබවා කටයුතු කිරීමට හැකියාව ඇත. ජීවිතයේ දරාගැනීම් අවබෝධ කරගෙන දිගු කාලීන අරමුණු වෙනුවෙන් කටයුතු කරයි. රැකි රක්ෂා විරහිත අයට රැකීරක්ෂා ලැබෙනවා ඇත. උසස්වීම් ලැබීම, ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර දියුණු වෙනවා ඇත. අලුත් ව්‍යාපාර ආරම්භ කරයි. සමාජයෙහි පිළිගැනීමකට භාජනය වේ.

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 9 වැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. තම ජීවිතයෙන් බැහැර කළයුතු දෑ බැහැර කරයි. හොඳ දේවල් ජීවිතයට ළඟා කරගනියි. රැකියාවල වෙනස්කම් ඇති කරයි. තීරණ ගැනීමේදී සිය වතාවක් වුවද හොඳට කල්පනා කර ගත යුතුයි. විදේශ ගමන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය. විභාග ආදී ශාස්ත්‍රීය කටයුතුවල නියැළෙන පිරිසට ඉතා සුබ කාලයකි. විවාහක අය හොඳ විමසීමෙන් පවුල වෙනුවෙන් කටයුතු කිරීම හොඳයි. පවුලේ සමගිය තවත් වැඩි වේ. තීන්දු තීරණවලදී සැලකිලිමත් වන්න.

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 8 වැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. එය අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයකි. එයට අප බිය විය යුතු නොමැත. දේපළ, වතුපිටි ආදිය ලැබීමට භාග්‍යය ඇත. රැකිරක්ෂාවල උසස්වීම් ලැබේවි. ස්ථිර රැකියා ලැබීම, වැටුප් වර්ධකය වැඩිවේ. ව්‍යාපාර කටයුතුවල ලාභ ලැබේවි. මානසික වශයෙන් ශක්තිමත්, ආධ්‍යාත්මික දියුණුවක් මේ කාලයේ ඇති වේ. අතීත මතකයන්ට මුල්තැන දී ව්‍යාකූල ස්වභාවයක් ඇති කරලීමට හැකි බැවින් එවැනි මංමුලා වෙන සිතුවිලිවලට හසු නොවී ක්‍රියාකාරකම්වල යෙදෙන්න. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුයි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 7 වැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. විවාහක අයගේ වැරැදි අවබෝධ නිසා ගැටුම් ඇති කරයි. ව්‍යාපාර කටයුතුවල දි මනා සිහි බුද්ධියෙන් තම දායකත්වය ලබා දී හැසිරීම දියුණුවට හේතු වේ. සබඳතා පලුදු වීමට බොහෝ ඉඩකඩ ඇත. තනි තීරණ, තනි මතවලට නොගොස් වැඩ කිරීම යහපත්ය. මේ කාලයේ දී දරාගැනීම වැඩි වේ.

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 6 වැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. රැකී රක්ෂාවල දියුණුව ඇති වේ. දැනුම වර්ධනයට කාලය උදාවේ. පරිපාලන කටයුතුවල සිටිනා අය වෙනදාට වඩා දියුණුවක් ඇති කරගනී. අනවශ්‍ය වියදම් පිළිබඳ සැලකිලිමත් වන්න. කාලයක් පුරාවට විසඳා ගැනීමට නොහැකි වූ ප්‍රශ්න තිබේ නම් ඒවා විසඳෙයි. ආධ්‍යාත්මික මාවතට යොමු වීම වැඩි වේ. විවාහ ජීවිතය සාර්ථකව ගත කරයි.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 5 වැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. හොඳ නරක සම සමව ලැබෙන කාලයකි. රැකි රක්ෂාවල නියැළෙන පිරිස ළඟ පෙනෙන වාසියට වැඩ කිරීමෙන් දුර ඇති ප්‍රශ්නවලට මැදිවේ. එබැවින් තීරණ ගැනීමේදී අන් අයගේ මතය ද විමසා කටයුතු කරන්න. සැකය මතුවීම පවුල් ජීවිතය ද, ආදර සබඳතා ද පලුදුවීමට පුළුවන. අධ්‍යාපනය හදාරන පිරිස වෙනදාට වැඩියෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අභියෝගවලට මුහුණදීමට සිදුවේ. ඒවායෙන් ජය ගැනීමට ද පුළුවන් වේ.

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 4 වැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. සමාජ ගනුදෙනු, පරිකල්පනය, සිතුවිලි, වෘත්තීය කටයුතු, අධ්‍යාපන කටයුතු ආදියෙහි විශේෂිත දාර්ශනික බවක් ඉස්මතු වේ. සංයමයෙන්, ඉවසීමෙන් ප්‍රබුද්ධව කටයුතු කරන කාලයකි. සමාජයෙහි ගෞරවයට පාත්‍ර වේ. ව්‍යාපාර කටයුතුවලදී වෙනදාට වැඩියෙන් දියුණුවක් ඇති වේ.

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 3 වැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. දීර්ඝ කාලයක් පැවැති ඒරාෂ්ටක අපල තත්ත්වය මඟ හැරේ. සෙනසුරු මාරුවෙන් ආකර්ෂණ භාවයක්, ජනප්‍රියත්වයක් ලැබේ. එමඟින් වෘත්තීමය ජයක් ලබාගත හැකිය. නායකත්වය විදහාපාමින් අන් අය අබිබවා කටයුතු කරයි. ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වන කාලයකි. දිගු කාලීන රෝගයන්ගෙන් සිටියේ නම් එය සුව අතට හැරේ. යන්ත්‍ර සූත්‍ර භාවිත කරන්නන් ඉතාම පරිස්සම් විය යුතුයි.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 2 වැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. මුදල් ගනුදෙනු ලදී ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. මනුෂ්‍යයන් සමඟ කතා කිරීමේදී වචන පිළිබඳ ඉතාමත් සැලකිලිමත් වීම වැදගත්ය. අධ්‍යාපනය සඳහා ඉතා හොඳ කාලයකි. කේන්තිය වැඩි කාලයකි. එබැවින් කායික මානසික වශයෙන් පීඩනයට යොමු වීමට වැඩි ඉඩක් ඇති නිසාවෙන් ඉවසීමෙන් සැනසීම උදාකර ගැනීමට කටයුතු කරන්න.

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 1 වැනි භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණේ. ලග්න ඒරාෂ්ටක අපලය පවතී. මනසට දැඩි පීඩනයක් ඇති කාලයකි. එම පීඩනය නිසාවෙන්ම හුදකලාව, උදාසීනව සිටීමට පෙලඹේ. එය අපලයකි. එයින් මිදීමට නම් පරිණත බව වැඩි සංයමයක්, සෑම දෙයක් දෙසම ඉතා සූක්ෂ්මව විනිවිදව බලා තීන්දු තීරණ ගැනීම සුබ වේ.

මේ කාලයේ මීන ලග්න හිමියන් කඳු නැඟීම්, පල්ලම් බැසීම වැනි කාලයකි. ඒ ඒ ස්ථානයට සුදුසු උචිත පරිදි හැඩ ගැසී ක්‍රියාකාරකම්වල යෙදීම තමන්ට ඇති ගැටලුවලින් මිදීමට හොඳම ක්‍රමයකි. සැකය, භය, චකිතය නිතර නිතර ඇතිවීම නිසා පවුල් ජීවිතයේ ගැටළු ඇතිවීමට පුළුවන. ශීර්ෂයෙහි රෝගවලට ගොදුරුවීමට හැකි‍ වේ. සියලුම ලග්න හිමියන්ට ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට සිදුවන අතර එම අභියෝගයන්ට මුහුණ දී එයින් ජයගෙන අභියෝගමයම විජයග්‍රහණයක් බවට පත් කර ගැනීමට මෙම සෙනසුරු මාරුව ඉවහල් කරගන්න.

“මා නිවත්ථ “අභික්කම”

“නොනැවැතී ඉදිරියට යන්න”

සෙනසුරුගේ නරක කිරණින් මිදීමට

එදින කළ යුතු වතාවත්

මෙදින රාත්‍රි 9.41 සිට රාත්‍රි 10.00 වනතෙක් බුද්ධ වන්දනාව සිදුකොට විෂ්ණු දේවතාවුන් වහන්සේට එළඟි තෙල් පහනක් දල්වා, ශාන්තාකාරම් භුජග ශයනම් පද්මනාසාම් සූරේශම් විශ්වාදාරම් ගඟන සදාශම් මේඝ වර්ණම් ශුභාංගම් ලක්ෂ්මී කාන්තම් කමලනයනම් යෝගි හෘද්ධ්‍යාන ගම්යම් වන්දේ විෂ්ණුම් භව්‍යායහරම් සර්ව ලෝකෙක නාථම්.

ශ්‍රී විෂ්ණු : ධෘත සංඛ පද්ම චක්‍රඃ

ගෞහාන් චතුර් භුජ ධරඃ

ලක්ෂ්මී වෘක්ෂ්‍ය සූනිත්‍ය සේවිත තන්ත්‍රඃ

ස්වර්ණාස්‍ය ජාමූත් ඵලඃ

යන විෂ්ණු ආරාධනා ශ්ලෝක 3 වතාවක් කියා

“නීල වණ්ණෝ මහා තේජො – බලො ගුරළ වාහනෝ

වේණු නාමෝ දේව රාජා – ඉමං පුඤ්ඤානුමෝදතු

යන මෙම ගාථාවෙන් විෂ්ණු දෙවියන්ට පින අනුමෝදන් කර පසුව සෙනසුරු ග්‍රහදේවතාවුන් වන්දනා කරන්න.

නීලාංජනා සමභාසං – රවි පූත්‍රම යමාග්‍රජං

ඡායා මාතර්ණ්ඩ සම්භූතං – තං නමාමී ශනෙශ්වරම්

මෙයද තුන් වතාවක් කියා දෙවියන්ට පින් දී අවසානයේ මියගිය ඥාතින්ට පින් අනුමෝදනා කරන්න.

උපදෙස් – දේශබන්ධු, ජ්‍යෝතිෂ විද්‍යා විභූෂණ, දේශමාන්‍ය, සංගීතා වික්‍රමසිංහ

නුවන් ජයවික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT