බළන්ගොඩ කරදියමුල්ල — වැවතැන්න මාර්ගයේ පාලමක් කැඩී වසර පහකට වැඩි කාලයක් ගතවී ඇති බවත් මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය වසර පහක පමණ කාලයක් තිස්සේ නතරවී තිබීම හේතුවෙන් පවුල් දෙසීයක පමණ ජනතාව ප්‍රවාහන දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බව එම මාර්ගය භාවිත කරන ජනතාව පවසති.
මෙම හේතුවෙන් වැවතැන්න, කොස්කොළවත්ත, ගොඩකුඹුර, දිද්දෙණිය ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව අපහසුතාවයට පත්ව සිටින බව එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කරති.
මේ ගැන අදහස් දැක්වූ වැවතැන්න ප්‍රදේශයේ පදිංචි අයි.ජී. සුමිත් නන්දසේන මහතා මෙසේ පැවැසීය.
මෙම පාලම ගැන නම් කතා කරලම එපා වෙලා ඉන්නේ. අඩි දොළහක් විතර පළලට තිබුණ පාලම කැඩිලා ගිහින් දැන් ඉතිරි වෙලා තියෙන්නේ අඩි තුනක් විතර කොටසක් විතරයි. කුඩු ගල්වලින් අවුරුදු ගාණකට පෙර බැඳපු බැමි තමයි මේ පාලමේ කැඩිලා ගිහින් තියෙන්නේ. පැවැති ආණ්ඩු තුනක බලධාරීන්ට නිලධාරීන්ට සිය වතාවකට වැඩිය මෙම පාලම හදලා දෙන්න කියලා කීවා. ලියුම් ලියලා දුන්නා. ඒත් එම බලධාරීන්, නිලධාරීන් අපේ මේ දුක්ගැනවිල්ල තඹ සතයකට ගණන් ගත්තේ නැහැ.
චරිත් ඉන්දික මහතා –
මේ පැත්තේ ජනතාව ජීවත් වෙන්නෙ තේ, ගම්මිරිස් වගා කරලා. ඉතින් මමත් තේ දලු වෙළෙන්දෙක්. මේ පාරේ තේ දලු ප්‍රවාහනය කරන ලොරි රථ පහක් විතර එනවා. ඒ ඔක්කොම මෙතනින් එහාට යන්න බැරිව මඟින් හරවනවා. අඩුම තරමින් ත්‍රිරෝද රථයකටවත් මෙතනින් එහා මෙහා යන්න බැහැ. යතුරුපැදියක් විතරක් යන්න පුළුවන්. ඒකත් මෙතනින් යන එක අවදානම්. මොකද පාලමේ ඉතිරි වෙලා තියෙන කොටස දැඩි අවදානම්. පාලම කැඩිලා ගිය කාලේ ඉඳන් අපි අසරණ වෙලා ඉන්නේ.
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්ලිව්.ඒ. සුමිත් වික්‍රමආරචිචි –
බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් කරදියමුල්ල – වැවතැන්න මාර්ගය වසර හැටකටත් වඩා පැරණි ප්‍රධාන මාර්ගයක්. ඉතින් මෙම මාර්ගයේ ඇති වැවතැන්න පාලම පැරණි තත්ත්වයේ පැවැතීම හේතුවෙන් ටිකෙන් ටික කැඩී ගොස් පසුගිය වසරවල පැවැති අධික වර්ෂාවත් සමඟ සම්පූර්ණයෙන්ම වගේ කැඩිලා ගිහින් තිබෙනවා. මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිත කරන ගොඩකුඹුර, දිද්දෙණිය, කොස්කොළවත්ත, වැවතැන්න ප්‍රදේශවල ජනතාවට පයින් ගමන් කිරීමට සිදු වෙලා තිබෙනවා. හදිසියේ ප්‍රදේශයේ රෝගියෙකු රෝහලට ගෙන යෑමට ත්‍රිරෝද රථයක්වත් ගමන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ජනතාව ඉතා අසරණ වෙලා ඉන්නවා. මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් හොයලා බලලා මෙම පාලම හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.
සම්පත් ප්‍රියනන්දන බළන්ගොඩ