භාණ්ඩ ආනයනයට බදු ප්‍රතිපත්ති ලිහිල් කරගත යුතුයි
රාජපක්ෂ-වික්‍රමසිංහ ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්තිය වුණේ වෙළෙඳාමෙන් ලාභ ලැබීම මිස නිෂ්පාදනයෙන් ලාභ ලැබීම නොවේ
රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දේශීය කර්මාන්තවල දායකත්වයත්, දේශීය කර්මාන්ත සහ දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ගත් ඇතුළුව තවත් කරුණු කිහිපයක් පිළිබඳව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.
රටක ආර්ථික සංවර්ධනය උදෙසා විධිමත් සැලැස්මක් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ ගැන මුලින්ම කතා කරමු?
අපේ රට තිබුණේ ආර්ථික කඩා වැටීමක. එනිසා අපට තිබුණු පළවෙනි වුවමනාව වුණේ ඒ ආර්ථික කඩා වැටීමෙන් ස්ථාවර වීම. ස්ථාවර නොවී සංවර්ධනය වීමේ හැකියාවක් නෑ. එලෙස ස්ථාවර වීම සඳහා තමා අපි පහුගිය කාලයේ කටයුතු කරමින් හිටියේ. විශේෂයෙන් රුපියල ස්ථාවර කරගැනීම. මෙහි විශාල උච්චාවචනයක් තිබුණා. අනෙක උද්ධමනය පාලනය කරගැනීම. භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ පහළ ගියා. මිනිසුන්ගේ ආදායම නොසිතූ ලෙස කඩා වැටුණා. ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර බිඳ වැටුණා. අන්න ඒ ක්ෂේත්‍ර ස්ථාවර කරගැනීම අත්‍යවශ්‍යයි. මේ ගත වූ මාස හතරේ අපේ ආණ්ඩුවේ දිශානතිය වුණේ ආර්ථිකය ස්ථාවර කරගැනීම.
ඊළඟට තියෙන්නේ ගමන ආරම්භ කිරීම. ඊටත් පසුව තමා සංවර්ධනය. ගමන ආරම්භ කිරීම සඳහා කර්මාන්ත වැඩිදියුණු කරන්න ඕනෙ. රටේ නිෂ්පාදනය දියුණු කරන්න ඕනෙ. රැකියා ජනිත කරන්න ඕනෙ. ඒ සියල්ල ඊළඟට තියෙන්නෙ. ස්ථාවර වීමේ කාලය තමා අපි ගත්තේ. බංකොලොත්භාවයෙන් නිදහස් වෙලා, රට ණයගැතිභාවයෙන් ගැලවිලා අපට මේ ගමන යන්න පුළුවන් කියලා හිතනවා. ඒ වෙනුවෙන් ස්ථාවර වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන බව විශ්වාසයි.
දේශීය ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
ප්‍රධාන වශයෙන්ම ඒ අයට තියෙන විශාලම ප්‍රශ්නය ණය අර්බුදය. පහුගිය කොවිඩ් වසංගත කාලයේත්, ආර්ථික අර්බුදය ඇති වූ දෙදහස් විසි දෙකෙන් පසුවත් ඒ අය විශාල ලෙස ණය අර්බුදයකට ලක් වුණා. ණය ගෙවා ගන්න බැරිව දේපොළ වෙන්දේසි කරන මට්ටමට පත් වූ අය ලක්ෂ දෙකකට වැඩිය ඉන්නවා කියලා අපි හිතනවා. ඉක්මනින් මෙයින් ප්‍රකෘති තත්ත්වයට ගන්න ඕනෙ විසි දහසක පමණ පිරිසක් ඉන්නවා. ඒ අයට ආණ්ඩුව අවුරුද්දක සහන කාලයක් දී තියෙනවා. ඒ සහන කාලයේදී මේ අයට බැංකු සමඟ එකඟතාවකට පත්වෙන්න පුළුවන්. ඒ සඳහා බැංකුවලින් තවදුරටත් සහන දෙන්න ඕනෙ. අපි ඒ කටයුත්තට මැදිහත් වෙමින් ඉන්නවා.
පහුගිය රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්තිය වුණේ වෙළෙඳාමෙන් ලාභ ලැබීම මිස නිෂ්පාදනයෙන් ලාභ ලැබීම නොවේ. ඒ නිසා පිටරටවල භාණ්ඩ කුණු කොල්ලයට මෙහෙට ගෙනත් වෙළෙඳපොළ ඇති කිරීම තමා ඔවුන්ගේ උපක්‍රමය වුණේ. එයින් දේශීය නිෂ්පාදකයන් බහුතරයක් අසරණ වුණා. අපේ අමුද්‍රව්‍යවල, අපේ අපනයන කර්මාන්තවල විශාල අර්බුදයක් ඇති වුණා. අපේ රටේම නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයන වෙළෙඳපොළේ අඩු මිලට තියෙන එක අපට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒවා සකස් කරගැනීම සඳහා දැන් අපි කටයුතු කරමින් ඉන්නවා.
ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් මේ අය-වැයේදී යෝජනා කිරීම එහි එක් පියවරක්. ඉදිරියේදී ඒ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමට නියමිතයි. ඊළඟට ඇන්ටි ඩම්පින් ඇක්ට් එක පාර්ලිමේන්තුවේදී සම්මත කරන්න ඕනෙ. ඇන්ටි ඩම්පින් ඇක්ට් කියන්නේ පිටරටවල නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩු මිලට ලංකාවේ වෙළෙඳපොළට ඒ භාණ්ඩ ගෙනත් දානවා. ඒ කියන්නේ ඉන්දියාවේ යම්කිසි භාණ්ඩයක් හදන්න ගිය වියදමටත් වඩා අඩු මිලට එම භාණ්ඩය මෙහෙ වෙළෙඳපොළට දානවා. ඊට සමාන මෙහෙ නිෂ්පාදනය කරන භාණ්ඩවලට ඒ වෙළෙඳපොළත් එක්ක තරග කරන්න බෑ. චීනයේ හදන්න යන වියදමටත් වඩා අඩුවෙන් චීන බඩු මෙහෙන් ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට ඇන්ටි ඩම්පින් ඇක්ට් එක පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙනවා. දැනට ගැසට් කරන මට්ටමේ තියෙන්නෙ. එවිට අපේ දේශීය වෙළෙඳපොළ ආරක්ෂා වෙනවා.
අපනයනකරුවන්ට ප්‍රශ්න රැසක් තියෙනවා. බදු සම්බන්ධයෙන් ගත්තොත් විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයේ බහුතරයක් දෙනා ඉන්නවා ගෙවූ වැට් බදු අය කර ගන්න බැරිව. එය බිලියන ගණනින් තියෙන්නෙ. එනිසා අපි ඉතා ඉක්මනින් දින 45කට වඩා අඩු කාලයක් තුළ වැට් රිෆන්ඩ් කරන්න අලුත් ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණය කර තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු දැන් සකස් කරමින් යනවා.
අනෙක ව්‍යවසායකයන්ට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි, ඉඩම්. දැනට වෙන් කර තියෙන කර්මාන්ත පුරවලත්, ඊට අමතරව කෘෂිකර්මාන්තයට වෙන් කළාට පසුව ඉතිරි වන ඉඩමුත් විධිමත් විදිහට කර්මාන්තවලට දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන් උතුරු හා නැඟෙනහිර පළාත්වල සංවර්ධනයට යොදා නොගත් විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ භූමිය දේශීය සහ විදේශීය ආයෝජනවලට විවෘත කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් අපි කන්කසන්තුරේ අක්කර 340ක් පමණ දැනට හඳුනාගෙන තියෙනවා. කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමත් එක්ක අපට ඒ ප්‍රදේශය රැකියා ජනිත කරන නව ආයෝජනවලට විවෘත කරන්න පුළුවන්. ඒ වගේ රට පුරාම අපි නව කර්මාන්ත ගම්මාන විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.
දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය සිදු වන්නේ කෙසේද?
මෙච්චර කාලයක් තිබුණේ දේශීය කර්මාන්ත විශේෂයෙන් රජයේ ව්‍යාපාර ගත්තොත් වැහිලා යන මට්ටමේ. අපේ සීනි කර්මාන්තයට වැට් බදු නිදහස් කර තිබුණේ නෑ. නමුත් ආනයනික සීනිවලට වැට් බදු නිදහස්. අපේ දුඹුරු සීනිවලට වැට් ගහනවා. එය තමා කලින් තිබූ ප්‍රතිපත්තිය. ඒ නිසා දේශීය වෙළෙඳපොළේ සුදු සහ දුඹුරු සීනි අතර මිලෙහි ලොකු වෙනසක් තිබුණා. අපි එය දැන් අඩු කර තියෙනවා. වගාවට යොදා නොගත් උක් බිම් වගාවට යොදාගෙන දේශීය උක් කර්මාන්තය දියුණු කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. දේශීය වශයෙන් ලුණු නිෂ්පාදනයට මෙතෙක් යොදා නොගත් අලිමංකඩ දැන් විවෘත කර තියෙනවා. දේශීය සෙරමික් පිඟන් ගඩොල් නිෂ්පාදනය වහලා තිබුණේ. අපි එය නැවත විවෘත කර තියෙනවා. ඒ වගේම ඔඩ්ඩුසුඩාන් සහ යටියන ප්‍රදේශවල දැන් උළු, ගඩොල් නිෂ්පාදනය ආරම්භ කර තියෙනවා. දේශීය අවශ්‍යතාවට අනුව අඩු මිලට භාණ්ඩ සැපයීමට මින් හැකියාව ලැබෙනවා. ඒ ආකාරයට අපේ කර්මාන්ත දියුණු කර තියෙනවා.
ඊට අමතරව එප්පාවල පොස්පේට් හදන්න ආයෝජන කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඉදිරියේදී ආයෝජකයන්ට කැමැත්ත පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. කහටගහ පතල, මිනිරන් පතල් ආදිය තාක්ෂණය යොදා වැඩි දියුණු කරන්න කටයුතු කරමින් තියෙනවා.
ඊට අමතරව අපි හඳුනාගත් අලුත් කර්මාන්ත ක්ෂේත්‍ර තියෙනවා. විශේෂයෙන් සේවා ක්ෂේත්‍රය. ඒවා දියුණු කරන්න මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නවා. කර්මාන්තකරුවන්ට ආයෝජන අවස්ථා ඇති කරන්න ‘එක්ස්පෝ 2026’ ප්‍රදර්ශනය ලබන වසරේ ලංකාවේ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මූලික කටයුතු දැනට සාකච්ඡා කරමින් යනවා.
ආනයන අපනයන ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්නේ කොහොමද?
අත්‍යවශ්‍ය භාණ්ඩ අපි ලංකාවට ගේන්න ඕනෙ. එයට අවශ්‍ය පහසුකම් හදන්න ඕනෙ. ඒ වෙනුවෙන් බදු ප්‍රතිපත්තිය මීට වඩා ලිහිල් කරගන්න ඕනෙ. විශේෂයෙන් අපි දැනට දේශපාලන තලයෙන් අපේ රේගුව භාණ්ඩ ආනයනය කරන අයට පහසුකම් හදලා තියෙනවා. විශාලම ප්‍රශ්නයක් වුණේ වරායේ ගුදම් පහසුකම් නැතිකම. පහුගිය කාලයේ කන්ටේනර් හිරවෙලා විශාල ප්‍රශ්නයක් ඇති වුණා. දැන් අපි අලුතින් කන්ටේනර් අංගණ ඇති කර ඒ තත්ත්වය වෙනස් කර තියෙනවා.
කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීමට විධිමත් සැලැස්මක් තිබේද?
අපි ඒ වෙනුවෙන් දැනට සෑම දිස්ත්‍රික්කයකම කර්මාන්ත ප්‍රවර්ධන සභා පිහිටුවා තියෙනවා. අපේ අමාත්‍යාංශය යටතේ තමයි කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන තියෙන්නෙ. පහුගිය කාලයේ එක එක අමාත්‍යාංශ යටතේ තිබූ ආයතන අද එක තැනකට ගෙනත් තියෙනවා. ඒ නිසා කුඩා ව්‍යාපාර අංශය, රාජ්‍ය ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශිල්ප සභාව කියන මේ ආයතන සියල්ලේ නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමිනුත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමිනුත් ඉන්නවා. ඒ නිලධාරීන් ඒකාබද්ධ කර කර්මාන්ත ප්‍රවර්ධන දිස්ත්‍රික් සභාව, ඒ වගේම කර්මාන්ත සංවර්ධන කමිටුව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ස්ථාපිත කරන්න කටයුතු කරනවා. එවිට ගම් මට්ටමේදීම අපේ දේශීය කර්මාන්තකරුවන් මුහුණදෙන හුඟක් ගැටලු ඒ අයට විසඳා ගන්න පුළුවන්.
රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් ඔබ නිතරම පෙනී හිටියා. නමුත් පසුගිය දිනවල තරුණියක් උපාධිධාරී රැකියා ගැන විමසන විට ඔබ එයට දුන් පිළිතුර සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයෙන් විග්‍රහ වෙනවා ?
දුරකතන ඇමතුම ඇත්ත. එයා කතා කළා. මම උත්තර දුන්නා. මම ඒ වෙලාවේ කියූ දේත් ඇත්ත. මොකද ඒ අය රැකියා ඉල්ලන විට පාර්ලිමේන්තු ඡන්දය තියලා අපට මන්ත්‍රීවරුන් හැටියට, ඇමැතිවරුන් හැටියට බලය ලැබිලා නෑනේ. අපට බලයක් නැතිව කොහොමද අපි රස්සා දෙන්නෙ. අපට බලය නැතිව අපට ඒ අයට රස්සා දෙන්න බැරි බව තමා මම කිවුවේ. මම හිතන්නේ නෑ, ඒකෙ කිසිම වරදක් තියෙනවා කියලා.
දැන් අපි අය-වැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර තියෙනවා. අය-වැය සම්මත කර තියෙනවා. ඒ නිසා දැන් අපට ඒ අයට රැකියා දෙන්න පුළුවන්. ඔය තියෙන්නේ රැකියා ප්‍රශ්නය නොවේ. ඒ අය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් අපි රැකියා දෙන බව දැනගෙන ඒකෙ වටිනාකම එහෙමත් නැත්නම් එහි වාසිය ගන්නයි ඒ අය මේ උද්ඝෝෂණය කරන්නෙ.
සාකච්ඡා කළේ – දිල්හානි ජයවර්ධන