Home » සේවක අර්ථසාධක අරමුදල් ගසාකෑ දූෂිතයන්ට දඬුවම් දෙනු

සේවක අර්ථසාධක අරමුදල් ගසාකෑ දූෂිතයන්ට දඬුවම් දෙනු

by sachintha
March 26, 2025 4:26 pm 0 comment

සාමාන්‍යයෙන් පුවත්පතක කතුවැකියක් ලියවෙනුයේ කාලීන සමාජ දේශපාලනික කාරණයක් මුල් කොට ගෙනය. එය එවැන්නක් පිළිබඳ පුවත්පතක මතය ලෙස ද සැලකිය හැකිය.

ගත වූ කෙටි කාලය මුළුල්ලේ අපට කතුවැකි ලෙස මේ තීරුවේ සටහන් කරන්නට සිදු වූයේ මෙපමණ කාලපරාසයක් පුරා සිදු වූ සමාජ දූෂණ, වංචා පිළිබඳව ය. මේ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීම්වලදී දැනගන්නට ලැබුණේ හෙළිදරවු වූ දූෂණ, වංචා, අක්‍රමිකතාවලට වඩා, හෙළිදරවු නොවුණු දූෂණ, වංචා, අක්‍රමිකතා වැඩි බව ය. එහි අදහස: අපට ලිවීමට ඕනෑ තරම් මාතෘකා ඇති බව ය. එහෙත් එය සමාජයක් ලෙස ගත් කල සුබදායී කාරණයක් නො වේ.

බලයේ සිටි දේශපාලනඥයන් ස්වකීය රාජ්‍ය බලය අවභාවිත කරමින් දූෂණ, වංචා සිදු කොට ඇති බව අපි ඕනෑ තරම් උදාහරණවලින් දැක ඇත්තෙමු. ඉතා මෑත කාලයේදී අසන්නට ලැබුණු තවත් ප්‍රවෘත්තියකින් කියවුණේ සේවක අර්ථසාධක අරමුදල් වංචා කිරීමක් පිළිබඳව ය. අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් කරන ලද මෙකී වංචනික ක්‍රියාවට බලධාරී දේශපාලන යන්ත්‍රණය ඍජුව හෝ වක්‍රව සම්බන්ධ බවට අමුතුවෙන් සාක්ෂි අවශ්‍ය නැත.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් කරන ලද හෙළිදරව්වකදී සඳහන් වූයේ ආයතන 22,450ක් තම සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීමෙන් කෝටි 3,600ක මුදලක් අහිමි වී ඇති බවයි.

මේ ප්‍රවෘත්තිය අසන විට අපට සිතුණු පළමු කාරණය වනුයේ: මෙපමණ කලක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බලධාරී ආයතන පැවතුණේ නැති ද යන්නයි; කම්කරු ඇමැතිවරයකු හෝ ජනාධිපතිවරයකු නැති නම් අඩුම ගණනේ පාර්ලිමේන්තුවක් හෝ මේ රටේ තිබුණේ නැති ද යන්නයි. නැති නම් මේ ආකාරයට වැඩ කරන පන්තියේ ජනතාවට හිමි සේවක අර්ථසාධක අරමුදල් කොල්ලකෑමට, ඒවා නොගෙවා හැරීමට ඔවුන්ට හැකියාව ලැබුණේ කෙසේ ද? මේ පිළිබඳ වහා කඩිනම් විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතුව ඇත. එය විමර්ශනවලින් හෝ කොමිෂන් සභාවලින් ඔබ්බට ගොස්, වැරදිකරුවන්ට දඬුවම් දෙන ක්‍රමවේදයක් දක්වා ද ගමන් කළ යුතුව ඇත.

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත මඟින් පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශවල සේවය කරන, විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කර තිබේ. එය දැනට ශ්‍රී ලංකාවේ පවතින විශාලතම සමාජ ආරක්‍ෂණ ක්‍රමවේදයයි. වැඩ කරන ජනතාවගේ පාර්ශ්වයෙන් කරන ලද සුවිශේෂ මැදිහත් වීමක් ලෙස ද එය හැඳින්විය හැකිය.

ඉතා සරලව ගත හොත් සේවක අර්ථසාධක අරමුදල සකස් වන්නේ සේවා දායකයාගේ සහ සේවා යෝජකයාගේ අරමුදල් දායකත්වයෙනි. මෙය කම්කරු පන්ති අයිතිවාසිකමකි. මෙහි දායක මුදල් එකතු කිරීම, ගිණුම් පවත්වාගෙන යෑම හා කම්කරු දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාජිකයන්ට ප්‍රතිලාභ ගෙවීම මහ බැංකුව විසින් සිදු කරනු ලබයි. එහි දැනට පවත්නා දායක මුදල් ප්‍රතිශතය වන්නේ සේවකයාගේ මුළු ඉපයීම්වලින් සේවා යෝජකයා විසින් 12%ක් ද සේවකයා විසින් 8%ක් ද වශයෙනි. සේවකයකු වයස අවුරුදු 55 සම්පූර්ණ වී රැකියාවෙන් ඉවත් වන විට මේ අරමුදල් ලබාගත හැකිය. එය විශ්‍රාම වැටුපක් නොලබන අයකුට ලැබෙන ඉතා සුවිශේෂ මූල්‍ය දායකත්වයක් වේ. එය සමාජ ආරක්‍ෂණ අරමුදලක් ලෙස හඳුන්වනු ලබනුයේ ඒ හේතුවෙනි.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් 1978 අංක 8 දරන සංශෝධනය අනුව 38 වගන්තිය යටතේ, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරනු ලබන පරීක්ෂණයකින් අනතුරුව, කම්කරු කොමසාරිස් විසින් නිකුත් කරනු ලබන සහතිකය මත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකිය.

එසේ නම්: මේ සා විශාල ආයතන සංඛ්‍යාවක් සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැර හැරියේ කෙසේ ද? මෙමඟින් අසාධාරණයට ලක් වූ සේවක සංඛ්‍යාව කොපමණ ද? ඔවුන් වෙනුවෙන් ගත හැකි යුක්තිමය ක්‍රියාමාර්ගය කවරේ ද? අසාධාරණයට හා පීඩාවට පත් වැඩ කරන පන්තියේ ජනතාව වෙනුවෙන් අප හට ඇති ගැටලුව එයයි. කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සාධනීය මැදිහත් වීම අප අගය කරනුයේ එවැනි තත්ත්වයක් යටතේය. එකී සමාජමය හෙළිදරව්ව වඩාත් ඵලදායක වනුයේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැර හැර ඇති අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන කවරේ ද යන්න හෙළිදරවු කිරීමත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන, පීඩාවට පත් සේවක ජනතාවට සාධාරණය ඉටු කිරීමත් ය. එය තරමක් දීර්ඝ හා සංකීර්ණ ක්‍රියාවලියක් බව අපි දනිමු. එහෙත් ඒ සඳහා මූලික ප්‍රවේශය හෝ මේ අවස්ථාවේ තැබිය යුතුව ඇත. එය එකී අරමුදලේ දායකත්වය දරන ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමක් ම වන්නේය.

පාලන තන්ත්‍රය දූෂිත වන විට, එහි නිලධාරි පෙළැන්තිය ද, ඔවුන්ගේ අනුගාමිකයන් වන ව්‍යාපාරික ප්‍රජාව ද ඊට අන්ත ලෙස දූෂිත වන බවට මේ කාරණය ඉතා කදිම උදාහරණයකි. නීතියක් නැති රටක මෙන්, ඔවුන් හිතුමතේ සේවක අයිතිවාසිකම් කප්පාදු කරමින්, ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑමේ නිරත වූයේ කෙසේ ද?

ජාතික කම්කරු ප්‍රඥප්තියක් ස්ථාපිත කරනවා යැයි කියූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී මෙකී ක්‍රියාදාමය ඉතා වැඩියෙන් සිදුව ඇති බව හඳුනාගත හැකි ය. ඊට පසු බලයට පැමිණි ඔහුගේ පවුල හා පන්තිය ආරක්ෂා කරන ජනාධිපතිවරුන් ද ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට කටයුතු කළ බවක් නො පෙනේ. එනිසා මේ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අතිශය සංකීර්ණ හා දුෂ්කර ක්‍රියාමාර්ගයක් වුව ද එය අනිවාර්යයෙන් ම කළ යුතු කාරණයක් වී තිබේ. මන්ද යත්: මේ නිසා පීඩාවට පත්ව සිටින්නේ ආර්ථික බලය අහිමි, වැඩ කරන පන්තියේ ජනතාව වන බැවිනි. ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට මැදිහත් වීම වෙනුවෙන් වර්තමාන ආණ්ඩුව කටයුතු කළ යුතු බව අප සඳහන් කරන්නේ ඒ හේතුවෙනි. එය ඔවුන්ගේ සමාජ දේශපාලනික න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවෙන් ගත යුතු කාරණයකි.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම්වලට අනුව, 2023 වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 467.2ක දැවැන්ත ලාභයක් වාර්තා කර තිබිණි. එය එම අරමුදල විසින් ඉතිහාසයේ ලබා තිබූ විශාලතම ලාභය ලෙස ද වාර්තා විය. මහ බැංකුව සහ රජය විසින් සිදු කරනු ලබන්නේ තමන්ගේ භාරයේ ඇති අරමුදල් දිගුකාලීන වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි ආකාරයට ආයෝජනය කිරීමයි. රටේ සංවර්ධනයේ මූල්‍ය දායකත්වය සහ මූල්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේදී මෙමඟින් ලැබෙන දායකත්වය අතිමහත්ය. එසේ නම් මේ අරමුදල් වංචා කළ පුද්ගලයන් අදාළ සේවකයන්ට පමණක් නොව, රජයට ද වංචා කොට තිබේ. ඔවුන් අල්ලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කාලීන අවශ්‍යතාවක් වනුයේ ඒ හේතුවෙනි. මෙපමණ කලක් ඔවුන්ට රැකවරණ දුන් දේශපාලනඥයන්ට එරෙහිව ද එහිදී නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.

මේ පිළිබඳ නීතිමය පසුබිම නොදන්නා සේවකයන් කොපමණ දෙනෙක් අකාලයේ මිය ගොස් ඇද්ද? එකී ප්‍රතිලාභ හිමි නොවී, රැකියාවලින් ඉවත් වී ඇද්ද? නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව අසරණ වූ පිරිස කොපමණ වනු ඇද්ද? එබැවින් මෙතෙක් කලක් අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවල තමන්ගේ කායික ශ්‍රමය හා බුද්ධිමය ශ්‍රමය වැපිරූ සේවකයන් වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතුව ඇත; එකී ශ්‍රම සූරාකෑමට කොන්දේසි විරහිතව එරෙහි විය යුතුව ඇත.

එහෙයින් අපි යළිත් වරක් අපගේ ඉල්ලීම සමාජ දේශපාලනික සටන් පාඨයක් ලෙස ඉදිරිපත් කර තබමු:

“සේවක අර්ථසාධක අරමුදල් ගසාකෑ වංචනිකයන්ට වහා දඬුවම් දෙනු!”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT