සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කරයි.
අදාළ යෝජනාව කථානායකවරයා වෙත භාර දීමට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ(25) කටයුතු කළේය.
එම යෝජනාවෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා 2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ පනතේ වගන්ති දෙකක් උල්ලංඝණය කර ඇති බවයි.
2023 වසරේ දී මනුෂ්‍ය ඝාතනයක් කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණි.
පොලිස්පති තනතුරේ සිටින අයෙකු එම තනතුරින් ඉවත් කිරීම සඳහා 2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ පනත යටතේ හේතු 08 ක් දක්වා තිබේ.
ඉන් හේතු 02ක් උපුටා දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම වෙනුවෙන් වූ යෝජනාවක් භාරදීමටයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිස ඊයේ කටයුතු කරනු ලැබුවේ. ඊට සමගි ජන බලවේගයද සහය ලබා දී තිබුණි.
එම එක් චෝදනාවක් වන්නේ විෂමාචාරය හෝ දූෂණ සම්බන්ධයෙන් වරදකරුවෙකු වීමයි.
ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වීම අනෙක් චෝදනාවයි. ඒ අනුව එම වගන්ති යටතේ දේශබන්දු තෙන්නකෝන් සිදු කර ඇති ක්‍රියා 27ක් චෝදනා වශයෙන් ඉදිරිපත් කරමින් අදාළ යෝජනාව කථානායකවරයාට භාර දී ඇත.
ඒ අනුව මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති එක් චෝදනාවක් වන්නේ 2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් වෙත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් යැවීම මගින් දේශබන්දු තෙන්නකෝන්, විෂමාචාරී ක්‍රියාවක් සිදු කර ඇති බවයි.
එමගින් ඔහු සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සිදු කර ඇති බවද එම යෝජනාවේ සඳහන් ය.
එමෙන්ම එම පිරිස යොදවා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම ද දේශබන්දු තෙන්නකෝන් විසින් සිදු කළ විෂමචාරී සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීමක් ලෙස දක්වා තිබේ.
අදාළ වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූ තුවාලකරුවන් ළඟම රෝහලකට රැගෙන නොගොස් රහසිගතව රැගෙන එන ලෙසට සන්නද්ධ පොලිස් කණ්ඩායමට උපදෙස් දීම ද එම චෝදනා අතරට අයත්ය.