Home » ජීවිතය දුටු සැබෑ ගැහැනිය

ජීවිතය දුටු සැබෑ ගැහැනිය

by sachintha
March 26, 2025 4:59 pm 0 comment

සීත මීදුම් අතරෙහි

රැඳී රඟමින් නඟා මඳහස්

ජීවිතය සොඳුරු යයි පවසන

ඔබ ම

යළිදු එහි ඇති අඳුරු අහුමුලු

ඉසව් වෙත ගොස්

ජීවිතය මේ සා දුකක් යැයි

පවසනා’යුරු දකින අප සිත්

වශී නො වුණි ද ඔබේ රැඟුමට

සියුමැලි ළඳ ද ඔබ

රැඟුමින් විකුම් පානා

රැඟුම් ලොව නිති සරමින්

දිවියෙහි අරුත් කියනා

සැබෑ ගැහැනිය ද ඔබ

ඔව්

ඔබ යි අප ළෙන්ගතු යෙහෙළිය

ඔබ යි අප සෙනෙහෙබර සොයුරිය

ඔබ යි ජීවිතය දුටු

සැබෑ ගැහැනිය – මාලිනී

මාලිනී සැබෑ ගැහැනියක බව කියැවෙන කවියක උධෘතයකි, ඉහත මවිසින් දක්වා ඇත්තේ. 2003 වසරේ දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘මාලිනියේ – දශක හතරක රංගන අභිනන්දන උළෙල’ අරබයා ධම්මික දිසානායක සංස්කරණය කළ කෘතිය වෙනුවෙන් මවිසින් රචනා කරන ලද පද්‍ය කාව්‍යයකින් උපුටා ගත්තකි. එහි කියැවුණු මාලිනී අද ද අපට හමුවන බව හැඟුණු බැවින් එකී උධෘතය සමඟ නීරෝගී ව රෝහලින් නිවස බලා ගිය මාලිනී ෆොන්සේකා පිළිබඳ මෙම කෙටි සටහන ලියන්නට අදහස් කළෙමි. මෙහිදී සිංහල සිනමා වංශ කතාවේ නිළි රැජින, අග්‍රගණ්‍ය කාන්තා රංග පෞරුෂය ලෙස විවාදයකින් තොරව පිළි ගැනෙනා මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ ගැහැනිය පිළිබඳ ලියැවුණු කෘති කිහිපයක් සොයා බලන්නට මට සිදු විය. ‘මාලිනී අභිනය පෙළහර’ නමින් මනෝහාරී හේවාවසම් විසින් 2003 අප්‍රේල් 30 දා පළ කරන ලද කෘතිය පළමු වැන්න යි. දෙවැන්න ඉහත කවිය පළ වූ ධම්මික දිසානායක සංස්කරණය කළ මාලිනියේ කෘතියයි. 2018 අගෝස්තුවේ දී Malini…up above .. යන්න තෙවැන්නයි. ඉංග්‍රීසි බසින් සම්පාදිත මේ කෘතිය ඇෂ්ලි රත්නවිභූෂණ හා ආචාර්ය ධම්මික දිසානායක විසින් සංස්කරණය කළ මාහැඟි ග්‍රන්ථයකි. මාලිනී ෆොන්සේකා නම් වූ සිංහල සිනමාවේ ප්‍රතිරූපය Icon, පුරාවෘත්තය Legend කලාකාරිණිය පිළිබඳ තොරතුරු සොයා යන්නෙකුට මෙම කෘති ත්‍රිත්වය සපයන්නේ විශාල ආලෝක ධාරාවකි. 1965 දී ධර්මදාස ජයවීරගේ ‘අකල් වැස්ස’ වේදිකා රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මානය දිනාගත් මාලිනීගේ දශක හයකට ආසන්න රංගන ජීවිතයේ වේදිකාව, සිනමාව, රූපවාහිනිය ජයගත් ජනතා සම්මානයෙන් මෙන් ම දෙස් විදෙස් විචාරක සම්මානයෙන් ද පිදුම් ලද අන් කවර හෝ නිළියක් අපට හමු නොවේ. එනයින් ඈ එකම මාලිනී ය.

සිනමාවේ දී ඇගේ රංගන කුසලතාවෙන් ඵල ගනිමින් ඇයට රංගනය උදෙසා දෙස් විදෙස් ඉහළම ගෞරව සම්මාන ලබා දෙන්නට සමත් වූ අධ්‍යක්ෂ නාමාවලිය සරසන්නෝ මෙසේ ය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ගාමිණී ෆොන්සේකා, ආචාර්ය ධර්මසේන පතිරාජ, සුගතපාල සෙනරත් යාපා, අමරනාත් ජයතිලක, විජය ධර්ම ශ්‍රී, වසන්ත ඔබේසේකර, පරාක්‍රම නිරිඇල්ල හා ප්‍රසන්න විතානගේ ආදී අධ්‍යක්ෂ වරුන්ය, එකී ලේඛනයට අයත්වන්නේ. මාලිනීගේ සිනමා රංගනය පිළිබඳ තතු ප්‍රචලිතව ඇති මුත් මාලිනීගේ රංගනයට අත්පොත් තැබුණු වේදිකාව පිළිබඳ කතාබහ වන්නේ මඳ වශයෙනැයි සිතමි. එස්.කරුණාරත්නගේ ගුත්තිල හා මළවුන් ( 1964 ) මාලිනීගේ වේදිකා රංග චාරිකාවේ ඇරැඹුමයි. සුමන ආලෝක බණ්ඩාර, ධර්මදාස ජයවීර හා සුනන්ද මහේන්ද්‍ර ආදීන් මාලිනීගේ වේදිකා රංගනයේ සැඟවුණු ශක්‍යතා දුටු අධ්‍යක්ෂවරු වෙත්. සුමන ආලෝක බණ්ඩාරගේ නිදිකුම්බා හා සුනන්ද මහේන්ද්‍රගේ සයුරෙන් ආ ළඳ වැනි වේදිකා රංගන සමඟ අකල් වැස්සෙන් මාලිනී වේදිකාව ජය ගත්තී ය. වේදිකාව ජයගත් මාලිනී සිනමාව, රූපවාහිනී රංගන ජයගනීමේ කුමන අභියෝගයක් ද ? දීපශිඛා, සරසවිය, වනිතා විත්ති හා නවලිය වැනි ජනප්‍රිය සම්මාන හිමිකරගන්නා මාලිනී මෙරට ප්‍රධාන පෙළ සම්මාන උළෙල සියල්ලෙහි ම හොඳම නිළි සම්මානයෙන් පිදුම් ලැබ ඇත්තී ය. ජනාධිපති සම්මාන උළෙල , සරසවිය, OCIC, ස්වර්ණ සංඛ, වැනි දේශීය උළෙල සියල්ලෙහිම සම්මාන දිනාගන්නා මාලිනී ‘ආකාස කුසුම්’ සිනමා රංගනය උදෙසා ඉතාලියේදී හා ඉන්දියාවේ දී සම්මාන ලබන්නී ය. රූපවාහිනී නාට්‍ය නිර්මාණ සඳහා මාලිනී කිහිපවතාවක් ම සම්මාන ලබන්නී ආචාර්ය තිස්ස අබේසේකර වැනි අධ්‍යක්ෂවරයකුගේ ‘ පිටගම්කාරයෝ’ ටෙලි වෘතාන්තය වෙනුවෙනි. මහමෙර පාමුළ, කෙම්මුර වැනි රූපවාහිනී නාට්‍ය සඳහා ද මාලිනී සම්මාන දිනන්නී ඇගේ රඟපෑම් ධාරිතාව පුළුල් පරාසයක දිවයන්නක් බවට නිදසුන් සපයමිනි.

රෝගී වූ තැන් සිට මෙරට සමාජ මාධ්‍ය හසුරුවන්නන් විසින් සුපුරුදු ලෙසම මාලිනී පිළිබඳ විවිධාකාර වූ පුවත් නිර්මාණය කොට තිබුණ ද ඈ ඒ සියල්ල අබිමුව නොසැළී උපේක්ෂාවෙන් බලා සිටියා ය. සමාජ මාධ්‍ය විසින් මෑත කාලයේ මෙලෙස අගතියට පත්කරනු ලැබූ ජයලත් මනෝරත්න හා ජැක්සන් ඇන්තනි වැනී කීර්තිමත් රංගධරයන් මතකයට නැඟුණේ නිතැතිනි. එහෙත් රංගනය විසින් ඇයට දායාද කොට ඇති ශික්ෂණය මාලිනීගේ දෘඪතර අධිෂ්ඨාන ශක්තිය පසුපස වී යයි සිතමි. මල් ගස් වටේ පෙම්වතුන් සමඟ ගී ගයමින් රඟන්නියක් තවත් මොහොතකින් ධීවරියක ලෙස බඹරු ආ වැල්ලක හෝ කුල කාන්තාවක ලෙස නිධානයෙහි අයිරින් වැන්නියකගේ චරිතයට පිවිසෙන්නී කෙලෙසද ? මාලිනී ෆොන්සේකා යනු ජාතියේ පිනෙන් ජාතිය ලද මහරු මිණක් වැනි රංග ප්‍රාතිහාර්යයකි. ඈ චිරාත් කාලයක් සුවෙන් සිටිනු දැකීම ඈට ආදරය කරන ඇගේ රැඟුමින් සුවපත් වූ සිතැති සුවහසක් ශ්‍රී ලංකාවාසීන්ගේ ඒකායන ප්‍රාර්ථනයයි.

ඔබ යි ජීවිතය දුටු සැබෑ ගැහැනිය – මාලිනී සුවෙන් ඉන්න.

බුද්ධදාස ගලප්පත්ති

bgalaps@gmail,com

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT