විලී සමග විවාහ වූ පසු කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ ඇය ලැබූ සතුටක් නැත. මිය ගිය අතීතයක මහලුවූ යෝධයින් මෙන් හඬාවැටෙන්නට වූ පැරැණි කුලාචාර, සිතුම් පැතුම්, සහ පුරුෂාර්ථ හිසමත් තබාගෙන ජීවත්වූ විලී වැන්නකුගේ සිතුම් පැතුම් කිසිසේත් අයිරින් වැනි තරුණියකට කොහෙත්ම ගැලපුණේ නැත.
රුක්මණී දේවියගෙන් ඇරැඹෙන ලාංකේය නිළි පරපුරේ තුන්වෙනි පරපුර නියෝජනය කළ අනුලා කරුණාතිලක, සුවිනීතා වීරසිංහ. ස්වර්ණා මල්ලවාරච්චි, සහ ගීතා කුමාරසිංහ වැන්නන් අතර මාලිනි ෆොන්සේකා විශේෂයෙන් කැපී පෙනේ. ඒ ඇයගේ නිළි භූමිකාව වඩාත් පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ විහිදී පැතිරී ගොස් ඒ සියලු භුමිකාවන් තුළින් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරගනිමින් ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබා ගන්නට ඇය දැක්වූ සමත්කම මත බවට විවාදයක් නැත. එම නිසාම ඇය පොදු ජන ප්‍රේක්ෂකයන් ගේ සිහින කුමරිය වූවාය. එමෙන්ම සිනමා මාධ්‍ය තුළින් ජීවිතය විනිවිද දකිනු රිසි ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නටද සමත්වී සිටින්නී ය. එය එම පරපුරේ නිළියන් අතර පමණක් නොව මේ වන විට පරම්පරා හයක් දක්වා විහිදී ගිය නිළි පරපුරේ කිසිවකුටවත් අතික්‍රමණය කළ නොහැකිවූ විරල ‘තරු’ ගුණයකි.
1968 වසරේ තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටයෙන් සිනමාවට එක්වූ මාලිනී, මේ වන විට චිත්‍රපට 150 කට ආසන්න ඇයගේ රංග කාර්යය තුළ විශිෂ්ටතම භුමිකාවන් නිරූපණය කරන්නට සමත්වූයේ ජනප්‍රිය සිනමා ධාරාව තුළ පෙම්වතුන් සමඟ සිංදු කියමින් නටමින් මල් ගස් වටේ දුවමින් කළ රංගනයන් අතරතුරම වීමද විශේෂත්වයකි.
වරක් මා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ කළ සාකච්ඡවකදී ඔහු කීවේ එවකට අතිශය කාර්ය බහුලව නිළියකව සිටි මාලිනී ඇතැම් දිනක උදේ වරුවේ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයක මල්ගස් වටේ දුව පැන නටා සවස් වරුවේ ‘නිධානය’ රූපගත කිරීම්වලට පැමිණ එහි අයිරීන්ගේ සංකීර්ණ මනෝ භාවයන්ට සම වැදුනේ කෙසේදැයි තමන්ටත් අදහාගත නොහැකිවූ ගැටලුවක් බවයි. ඒ ආශ්චර්යය කළ හැකි එකම නිළිය මාලිනී පමණක් බවද ලෙස්ටර් කීවේ ය. ලෙස්ටර් ගේ ඒ ප්‍රකාශය තහවුරු වන්නේ මාලිනී ‘නිධානය’ චිත්‍රපටයෙහි අයිරීන් ලෙස කළ රංගනය විමසා බැලීමෙනි.
ජීබී. සේනානායකගේ ‘නිධානය’ කෙටිකතාව ඇසුරින් තිස්ස අබේසේකර ලියු තිර නාටකය අනුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘නිධානය’ චිත්‍රපටයේ ධනවාදයේ නැඟීමත් සමඟ අභාවයට යමින් පැවැති රදළ පරපුරක අවසාන පුරුකක් වූ විලී අබේනායකගේ (ගාමිණි ෆොන්සේකා) බිරිඳ අයිරින් ලෙස මාලිනීට ලැබුණු චරිතයද එතෙක් ඇය නිරූපණය කළ චරිතයන්ට වඩා අභියෝගාත්මක විය. විලී වැනි ගූඪ මනසක් සහිත සංකීර්ණ ගති ලක්ෂණ වලින් හෙබි පුරුෂයකු සමඟ අයිරීන් ගත කළ ජීවිතය බෙහෙවින් පීඩාකාරී විය. විලී අයිරින් විවාහ කරගනු ලැබුවේ තම ණය තුරුස්වලින් මිදීම සඳහා නිධානයක් සොයා ගැනීමේදී ඊට බිලි දිය යුතුව තිබූ කන්‍යාවකගේ පිහිට පැතීමක් ලෙස ය.
විලී සමග විවාහ වූ පසු කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ ඇය ලැබූ සතුටක් නැත. මිය ගිය අතීතයක මහලුවූ යෝධයින් මෙන් හඬාවැටෙන්නට වූ පැරැණි කුලාචාර, සිතුම් පැතුම්, සහ පුරුෂාර්ථ හිසමත් තබාගෙන ජීවත්වූ විලී වැන්නකුගේ සිතුම් පැතුම් කිසිසේත් අයිරින් වැනි තරුණියකට කොහොත්ම ගැලපුනේ නැත. එහෙත් විවාහ බන්ධය ඉදිරියේ අත්පා හකුළුවාගෙන සිතින් මෙන්ම කයින්ද දුක් විඳීමින් සියල්ල දරාගෙන ඔහු සමඟ ජීවත් වීම හැර ඇයට කළ හැකි අන් දෙයක් නොවී ය. මාලිනීට සමස්ථ රංගනය තුළම අයිරීන්ගේ මේ විඳ දරා ගැනීම් ප්‍රකට කරන්නට සිදු විය. අයිරින්ගේ විඳ දරා ගැනීම් හමුවෙ ඉඳ හිට විලීගේ මුවින් නික්මෙන එක් සෙනෙහෙබර වචනයකින් , මෘදු ස්පර්ශයකින් අගේ දෙතොල මත නැඟෙන මන්දස්මිතය ක්ෂණයෙන් පළා යන්නේ ඊළඟ මොහොතේ විලීගේ මුවින් නික්මෙන් රළු වචනයකිනි. මේ ගුප්ත මිනිසා තේරුම් ගනිමින් ඔහුට ආදරය කරමින්, ඔහුගේ හදවතට ළංවන්නට ඇය දරණ උත්සාහයන්ද ව්‍යර්ථ වන්නේ විලීගේ අසාමාන්‍ය රළ හැසිරීම් නිසා ය. සුළඟ හමුවේ විටෙක නිවෙන්නට ආසන්න වෙමින්ද , තවත් විටෙක යළි පණ ගසමින් දැල්වෙන පහන් සිලක් බඳු ක්ෂණයෙන් වෙනස්වන භාවයන් කුළුගැන්වීමෙහි ලා එහිදී මාලිනීගේ මුහුණෙ නැඟෙන ක්ෂණික ඉංගිතයන් අපූරු ය . ඒ ඔස්සේ අයිරින්ගේ හදවතට දැනෙන සංවේදනයන් අතිශය සියුම් ලෙස ප්‍රේක්ෂකයා තුළ ඇය සමත් වෙයි.
ජනප්‍රිය ධාරවේ සිනමාපටවල හොඳහැටි කරණම් ගසමින් ප්‍රේක්ෂකයා ආනන්දයෙන් මත් කළ මාලිනී ‘නිධානයට’ නොදෙවෙනි තවත් අපූර්ව චරිත නිරූපණයක් පරාක්‍රම නිරි ඇල්ලගේ ‘සිරි මැදුර’ චිත්‍රපටයේ නිර්මලා වෙතින් දකිනන්ට ලැබේ . රදළ පරපුරකින් පැවැත ආ නිර්මලා (මාලිනි) ඒ පංතිය විසින් උරුම කරගත් සංස්කෘතික ජීවිතයකින් පෝෂණය ලත්, ඒ සංස්කෘතිය විසින්ම හික්මවනු ලැබූ තරුණ කාන්තාවකි. සිරිල් හාමු (ලකී ඩයස්) සමඟ විවාහවීමේන් අනතුරුව ඔහුගේ වලව්වේ ආධිපත්‍යය කෙමෙන් තමන් වෙත නතු කරගන්නා නිර්මලාට, වලව්වේ උඩුමහලේ වෙසෙන සිරිල්ගෙ මල්ලී, සම්පත් (රවීන්ද්‍ර රන්දෙනිය ) මෙහෙකාර කෙල්ල, ලීලා (අනෝජා විරසිංහ) සමඟ පවත්වන ලිංගික සබඳතාව පිළිබඳව ඉව වැටේ. ඒ නිසා නිර්මලාගේ චිත්ත සන්තානයේ කෙලවරක ලැගුම් ගන්නා ලිංගික ඊර්ෂ්‍යාව යටපත් කර ගනිමින් ලීලා සම්පත් වෙතින් දුරස් කොට ඔහු තමන් වෙත අත්පත් කරගන්නට ඇය සූක්ෂම මෙහෙයුමක් කරයි. ‘සිරිමැදුර’ චිත්‍රපටයේ ලීලා අතපය දිගහැර නිරූපණය කළ හැකි චරිතියකි. සම්පත්ගේ කය පහස නිර්මලා විසින් අත්පත් කර ගැනීමේන් හට ගන්නා ලිංගික ඊර්ෂ්‍යාව නිසා වහා කෝප වී හඬා වැළපෙන ලීලා වෙනුවට නිර්මලා තම යටි සිතේ ලිංගික ආවේගයන් යටපත් කර ගනිමින් හෙමින් සම්පත් ගේ කය පහස වෙත ළංවන භුමිකාව අතිශය දුෂ්කර ය. මක්නිසාද යත් නිර්මලාගේ පංති ස්වභාවයට ආවේණික වූ ගති පැවැතුම් අනුව ඒ චරිතය තුළින් කිසි විටෙකත් භාවතිශය අවස්ථාවන්ට ඉඩ නැත. එබැවින් නිර්මලාගේ චිත්ත අභ්‍යන්තරයේ සූක්ෂමතාවන් ප්‍රේක්ෂකයාට කියවාගන්නට හැකි වන්නේ අධි රංගනයකට ප්‍රතිපක්ෂ අව රංගනයකිනි. (Under playing) මාලිනි ඒ කාර්යය අන්තර්ඥාණයෙන් වටහාගත් අයුරු නිර්මලාගේ චරිත නිරූපණය තුළින් මනාව ප්‍රකට කළා ය. ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත් ‘ චිත්‍රපටයේ හෙලන් ලෙසද ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයේ සෝමා ලෙසද මාලිනී ඉදිරිපත් කළ කළ රංගනයන් ඇයගේ බහු විධ කුසලතාවන් තව දුරටත් ප්‍රකට කිරීමක් විය.
ගුණසිරි සිල්වා