Home » අපි අක්කයි නංගියි කියන චරිත රඟපාලා නෑ – දමයන්ති ෆොන්සේකා

අපි අක්කයි නංගියි කියන චරිත රඟපාලා නෑ – දමයන්ති ෆොන්සේකා

ඇය නොමැතිනම්, ‘ආකාස කුසුම්’ නෑ - ප්‍රසන්න විතානගේ

by sachintha
March 26, 2025 4:03 pm 0 comment

හෙළ සිනමාවේ නිළි රැජන’ ,මාලිනිය දශක ගණනාවක් පුරාවට ප්‍රේක්ෂක හදවත් බදා අරක්ගෙන සිටින්නේ චරිත සිය ගණනකට තම රංග ජීවය මුසු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඇගේ සන්තකය සිනමාවයි. එහි ඈ නොමැති ඉසව්වක් සොයා ගැනීමට නොහැකි තරම් ය. ඇගේ නැඟණිය දමයන්ති ෆොන්සේකා ද ලාංකේය වේදිකා නාට්‍යය , සිනමාව, ටෙලි නිර්මාණ ක්ෂේත්‍ර ත්‍රිත්වයම නියෝජනය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියකි. රංගනයේ ප්‍රවීණත්වය නවක පරම්පරාවට බෙදා හරින්නියකි. ප්‍රසන්න විතානගේ ශ්‍රී ලාංකේය සිනමා කලාව තුළ අද්විතීය සලකුණක් තැබූ අධ්‍යක්ෂවරයෙකි. මේ කතා බහ සහෝදරියක්, අධ්‍යක්ෂවරයෙක් ලෙස ‘මාලනියගේ ‘ගේ ජීවිතය දෙස හැරී බැලීමකි)

රංගනය කියන්නේ ඉඟි, චලනය සහ දෙබස්. දැන් බොහෝ විට අපිට පේනවා රූපවාහිනියේ නළු නිළියන් ඉන්නේ දෙබස් කියන්න. දෙබස් කියන්න පමණක් නළු නිළියන් අවශ්‍ය නැහැ. ඔවුන් හැඟීම් ප්‍රකාශ කළ යුතු යි. දෙබසින් එහා ගිය හැඟීමක් තිබෙනවා. මාලිනිය කිසි විටක දෙබස් කියන්නේ නෑ. කැමරාවට වචන සමඟ හැඟීම් ප්‍රකාශ කරනවා.

මාලිනී ෆොන්සේකා නම් සම්මානනීය නිළිය පිළිබඳ ව සහෝදරියක් විදිහට ඔබට දැනෙන්නේ කොහොම ද?

දමයන්ති – ඒ පිළිබඳ ව ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේ ම නිහතමානීව ආඩම්බරයක් තියෙන්නේ හැම මොහොතක ම ඇය සහෝදරියවීම සහ ඇගේ ජයග්‍රහණ සම්බන්ධව.

නමුත්, සහෝදරියක් විදිහට මම හොයලා බලන්නේ ඇය ගැන. ඇගේ සුවය පිළිබඳ ව. වෘත්තියෙන් ඇය රංගන ශිල්පිනියක්. මමත් රංගන ශිල්පිනියක්. නමුත් ඇය මගේ අක්කා සහ මගේ සහෝදරිය. ඇය මුලින් ම වේදිකා නාට්‍යයට යනකොට මම දන්නෙවත් නෑ. එතකොට මම ගොඩක් පුංචි දරුවෙක්. ඒ පිළිබඳ ව මම අහලා විතරයි තියෙන්නේ. පසු කාලීන ව මම ඇගේ චිත්‍රපටි ආවාම බලන්න යනවා. ඒ මතකය තමයි මට තියෙන්නේ. අපි බොහෝ ළඟින් කුඩා කාලයේ දී ඇසුරු කරන්න මට අවස්ථාවක් තිබිලා නැහැ. ඇය බොහොම කාර්ය බහුල කෙනෙක්. අලුත් අවුරුද්දට වගේ තමයි ඒ වෙද්දි ඇය ගෙදර ඉන්නේ. ඇය කිසිම වෙලාවක විශේෂත්වයක් ලබා ගන්න උත්සහ කළෙත් නැහැ. ඇය හරිම සාමාන්‍ය ගැහැනියක් විදිහට ගෙදර අම්මා, තාත්තා, නංගි, මල්ලිලා අපි එක්ක ගත කළා. අදටත් ඇය එහෙමයි.

මාලිනී ෆොන්සේකාගේ සම්මානනීය රංගනය පිළිබඳ ව අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඔබ දරන අදහස ?

ප්‍රසන්න – අධ්‍යක්ෂකවරයෙක් වීමට ප්‍රථම කුඩා කළ මම ඇගේ රසිකයෙක්. ඇගේ වානිජ චිත්‍රපටි වගේ ම ‘හතරදෙනාම සූරයෝ’ වගේ චිත්‍රපටත්, නිධානය, බඹරු ඇවිත් වගේ චිත්‍රපටත් මම බලලා තියෙනවා. ඇය ඒ වෙද්දි අතිශය ජනප්‍රිය චරිතයක්. ජනකාන්ත නිළියක්. ඇය විවිධ චරිත ඔස්සේ රංගනයට අවතීර්ණ වෙන ආකාරය අපි රසිකයෝ විදිහට දුටුවා. අපේ කලින් සිටි නිළියන්ට වඩා ඇය වෙනස්. ඇගේ විශාල තරු ගුණයක් තිබුණා. තරු ගුණය ඉක්ම වූ සහෝදරියක් , පෙම්වතියක් කියන එක මුසු වුණු මාලනී කෙනෙක් මම රසිකයෙක් විදිහට දැක්කා. පසුකාලීන ව ඇගේ නැඟණිය සමඟ විවාහ වීමෙන් අනතුරුව ඇය සමඟ මට ඥාති සම්බන්ධතාවයක් ගොඩනැඟෙනවා. ඉන්පසු ව තමයි අධ්‍යක්ෂකවරයෙක් ලෙස මට ඇයව මෙහෙයවන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ‘ආකාස කුසුම්’චිත්‍රපටයෙන්. අධ්‍යක්ෂකවරයෙක් නිළියක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ කුමක් ද? මුහුණේ මාංශ පේෂීන්ගේ චලනයෙන් චරිතයේ අභ්‍යන්තරය මතු කිරීම. මාලිනියගේ තියෙන්නේ අතිශය සියුම් හැඟීම් ප්‍රකාශ කරන්නියක්. ඇගේ භාව ප්‍රකාශනය ඉතා ඉහළයි. අනිත් අත්දැකීම තමයි මේ වන විට ඉතා නිර්භීත ලෙස, නිළි වෘත්තියේ නියළී සිටි ඇයට මෙන් ලොව කාරුණික නොවූ චරිතයක් කෙරෙහි ඉතා අවබෝධයෙන් රඟපෑම . ඒ ‘සන්ධ්‍යාරාණී’ චරිතය. බොහෝ දෙනෙක් චරිත රඟපානකොට බයයි ඒ චරිතය තමන් කියලා මිනිස්සු හිතයි කියලා. නමුත් ඇය එහෙම නෑ. ආකාස කුසුම් නිර්මාණයේ දී ඇය ‘සන්ධ්‍යාරාණි’ තමන් ව කරගත්තා

ඇය මෙතෙක් රඟපෑ සිනමා නිර්මාණ අතර විශිෂ්ට තම චරිත විදිහට ඔබට මතක් කරන්න පුළුවන් මොනව ද? ඒ සියලු චරිතවලට නිසි ඇගයීමක් ලැබුණා කියලා ඔබ හිතනව ද?

දමයන්ති – සිරිමැදුර, නිධානය, බඹරු ඇවිත් , සොල්දාදු උන්නැහේ මේ වගේ ගොඩක් තියෙනවා. අපි දැන් බෙදා ගෙන ඉන්නවනේ වානිජ සහ කලාත්මක සිනමාව විදිහට කොටස්වලට. ‘ සූසි’ සිනමා නිර්මාණයත් එවැන්නක්. එතකොට ඇය වානිජ ද කලාත්මක ද කියලා අපිට වැදගත් වෙන්නෙ නෑ. රසිකයෙක් විදිහට මම ඒ චරිතවලට ආසයි.

ඒ වගේ ම ඇගයීමක් ලබන්නම චරිත කළ යුතුයි කියන මතයේ මම නැහැ. නිර්මාණයක දී ප්‍රේක්ෂක ආදරය ලැබීමයි මම දකින හොඳ ම ඇගයීම. ඒ ඇගයීම ඇයට හැමවිටම ලැබුණා. බොහෝ අවස්ථාවල ඇය සම්මානනීය වුණා.

සිනමාව නම් සාමූහික කලාව සාර්ථක කර ගැනීමට නිර්මාණවල දී මාලිනිය අනෙකුත් සහෝදර ශිල්පීන් ලබා දෙන සහයෝගය මොන වගේ ද?

ප්‍රසන්න – ඇය පිළිබඳ ව ‘ආකාස කුසුම්’ චිත්‍රපටය අධ්‍යක්ෂණයට පෙර මම අහලා තියන කතාවනම්, ඇය ඇගේ පෞද්ගලිකත්වය කිසිම අවස්ථාවක දර්ශන තලයට රැගෙන ආවේ නෑ. ඇය සම්පූර්ණයෙන් ම වෘත්තීමය නිළියක්. ‘ආකාස කුසුම් ‘චිත්‍රපටයේ දී ඇය දර්ශන තලයේ අතිශය සාමාන්‍ය කෙනෙක්. ඇයව ‘නිළි රැජින’ වැනි බොහෝ නම්වලින් හඳුන්වන නමුත් , ඇය ඒ කිසිම දෙයක් දර්ශන තලයට රැගෙන ආවෙ නෑ. ඇය බොහොම සුහදව නවක නිළියන් සමඟ ගනුදෙනු කළා. නැවත නැවත රූපරාමු ලබා ගැනීමට සිදු වන අවස්ථාවල පවා ඇය කිසිදු විරෝධයක්,මැසිවිල්ලක් නැති ව ඒ සඳහා උපරිම සහයෝගය ලබා දෙන අයෙක්.

රංගනයේ දී සහෝදර ශිල්පිනියක් ලෙස නිර්මාණ කාර්යයන්ගේ දී ඇය අනෙකුත් ශිල්පීන් සමඟ දක්වන සම්බන්ධය කෙබඳු ද?

දමයන්ති – ඇය බොහොම නිහතමානී කෙනෙක්. කාර්මික ශිල්පීන් සමඟ පවා ඇය බොහොම නිහතමානීව කටයුතු කරන චරිතයක්. මම සමඟ රඟපෑ අවස්ථාවල මම ඒක දැකලා තියෙනවා. ඒ වගේ ම ඇය පිළබඳ ව බොහෝ නළු නිළියන්, අලුත් අධ්‍යක්ෂකවරුන් වගේ ම නවක අය පවා කියනවා ඇය ඕන ම අයෙක් සමඟ නිහතමානීව සහයෝඟයෙන් කටයුතු කරන බව.

ඇගේ රංගනයට, චරිතවලට ලැබුණු දරුණුම විවේචනයක් මතක් කරන්න පුළුවන් ද?

දමයන්ති- විවේචන කියන්නේ දරුණු, සියුමි විදිහට විග්‍රහ කරන්න පුලුවන් දෙයක් නෙමේ. මට එහෙම අවස්ථාවක් විශේෂයෙන් මතක නැහැ. විවේචන ලැබීම ඕනම වෙලාවක වෙන්න පුලුවන් දෙයක්. මම හිතන්නේ විවේචන ලැබුණත් නැතත් ඊළඟ චරිතය සාර්ථක ව ඉටු කිරීම තමයි වගකීම. ඇයත් ඒ විදිහට නිහතමානි වුණා ඕනම විවේචනයක් බාරගන්න, වගේම ඊළඟ චරිතය සාර්ථකව සිදු කරන්න

අනෙක් රංගන ශිල්පීන් සමඟ බලනවිට මාලිනිය කැමරාව සමඟ තබා ගන්නා ගනුදෙනුව කෙබඳු ද?

ප්‍රසන්න – පොදුවේ මම වැඩ කළ නළු නිළියන්ගෙන් බැහැරව මේ පිළිබඳ ව කතා කළ නොහැකි යි. මගේ චිත්‍රපට ජීවිතය තුළ මා සමඟ කටයුතු කළ සියලු ම නළු නිළියන් කිසිදු ප්‍රශ්නයක් නොවී ඉතා සාර්ථකව තම රංගන කාර්ය සිදු කරලා තියෙනවා.

මාලිනිය දන්නවා කැමරාව කොතනද ස්ථාන ගත වෙලා තියෙන්නේ කියලා. වසර ගණනාවක පරිණතභාවයෙන් ඇය කැමරාව සම්ඟ ඉතා සියුම් ව ගනුදෙනු කළ යුතු ආකාරය හඳුනනවා. උදාහරණය විදිහට, සමීප රූප ලබා ගැනීමේ දී ඇහි බැමක සෙලවීමකින් පවා එම අවස්ථාවට විය හැකි හානිය ඇය හඳුනනවා. ඇයත් අධ්‍යක්ෂණ කාර්යයේ නියුතු වන අයෙක්. රංගනය කියන්නේ ඉඟි, චලනය සහ දෙබස්. දැන් බොහෝ විට අපිට පේනවා රූපවාහිනියේ නළු නිළියන් ඉන්නේ දෙබස් කියන්න. දෙබස් කියන්න පමණක් නළු නිළියන් අවශ්‍ය නැහැ. ඔවුන් හැඟීම් ප්‍රකාශ කළ යුතු යි. දෙබසින් එහා ගිය හැඟීමක් තිබෙනවා. මාලිනිය කිසි විටක දෙබස් කියන්නේ නෑ. කැමරාව හැඟීම් ප්‍රකශ කරනවා වචන සමඟ.

රංගනයේදී ඇය සමඟ ඔබ රංගනයෙන් දායක නිර්මාණ තිබෙනවා. එ අත්දැකීම් සමඟ මාලිනියව හොඳටම මෙහෙය වූ අධ්‍යක්ෂවරයා ලෙස ඔබ දකින්නේ කවු ද?

දමයන්ති – අපි දෙන්නා අක්කයි , නංගි වුණාට තවමත් අපි අක්කයි , නංගියි කියන චරිත රඟපාලා නෑ. ඇය මගේ මවගේ චරිතයට බොහෝ වෙලාවට රඟපාලා තියෙනවා. බොහෝ විට ඒ චරිතයේ ඇගේ කුඩා අවදිය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.

ඒ වගේ ම මම ඇගේ චිත්‍රපටයක් නරඹන්නේ හැම විටම රසිකයෙක් විදිහට. අධ්‍යක්ෂවරයාගේ කාර්ය භාර්ය පිළිබඳ ව ඒ අවස්ථාවේ හිතන්නේ නැහැ. ඒ ඒ කෝණවලින් අපි ඒ රංගනය බලන්නේ නෑ. දැන් ‘සිරිමැදුර’ වගේ චිත්‍රපටයක් මම හරිම කැමති චරිතයක්. ඒ වගේ චරිත ගණනාවක් තිබෙනවා. ඒ හැම එකක්ම අධ්‍යක්ෂණ කාර්‍යය සුවිශේෂී. ඇය චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ නිර්මාණ රසිකයෙක් විදිහට රස විදීම වගේම ඒ චරිතවල ස්වභාවය අපි අධ්‍යයනය සඳහා සමහර අවස්ථාවල දී භාවිතා කරනවා. ඒ හැර අධ්‍යක්ෂකවරයාගේ භාවිතය පිළිබඳ ව මම හිතන්න යන්නෙ නැහැ.

අද වන විට සිනමාව සඳහා භාවිතා කරන තාක්ෂණය සෑහෙන වෙනස් වීමකට භාජනය වෙලා තිබෙනවා. මේ තාක්ෂණික වෙනස්වීම් සමඟ ඇගේ වෘත්තීය රංගනය මුහුකිරීම සාර්ථක ද?

ප්‍රසන්න – ලෝකයේ තාක්ෂණය ලංකාවට එන්නේ ප්‍රමාද වෙලා. අනූ ගණන්වල අපි සතුවෙලා තිබූ කැමරා කාච, කැමරාවලින් ඉවත්වෙලා දැන් නව තාක්ෂණය රැගත් කැමරාකාච සහ කැමරා අපි සතු යි. ඩිජිටල් ප්‍රක්ෂේපණය නිසා පැරණි ප්‍රක්ෂේපණ ක්‍රමයන් බැහැර වුණත් තවමත් ඉතා දුර්වල මට්ටමේ සිනමා ශාලා ලංකාව පුරා තියෙනවා. ඉතින් සියලු ම නළු නිළියන් මේ තාක්ෂණික දියුණුවට වගේ ම අභියෝගයන්ටත් ලක් වෙනවා. ලෝකය අද වන විට කෘතිම බුද්ධිය සමඟ ඉදිරියට යනවා. අනාගතේ කෘතිම බුද්ධියට පුළුවන් ‘මාලිනි ෆොන්සේකා’ කෙනෙක් හදන්න. රංගනය, ඉරියවු ඔවුන් නොමැති ව පවා චරිතවලට ගෙන එන්න අවකාශය වැඩී. ලාභය පදනම් කරගෙන මේ සියල්ල සිදු වෙන්නේ. මෙය විවාදාත්මකයි. මාලිනිය මේ වෙනස්කම් සමඟ වනවිටත් සාර්ථක ව ගනුදෙනු කරමින් සිටිනවා. ඒ වගේ ම’ ‘නිධානය’වගේ චිත්‍රපටවල මේ වන විට ඩිජිටල් පිටපත් ප්‍රතිෂ්ඨාපනය කරලා තියෙනවා.’ ආකාස කුසුම් ‘ සිනමාපටයත් ප්‍රතිෂ්ඨාපනය කරලා තියෙනවා.

ඔබට අධ්‍යයනය තුළින් රංගනය සඳහා දරුවන් මෙහෙයවන්නියක්. මාලිනියගේ දශක ගණනාවක රංග පරාසය තුළ ඇය ස්පර්ශ හව දුරටත් ස්පර්ශ කළ යුතු යැ’යි සිතන චරිත තිබෙනව ද?

දමයන්ති – මෙහෙමයි දරුවන්ට අධ්‍යයනය සඳහා අක්කගේ වගේ ම බොහෝ රංගන ශිල්පීන්ගේ චරිත අපි යොදා ගන්නවා. මෑතක දි මගෙ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය තුළ ඇය ව අධ්‍යක්ෂණය කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒක හරි අපූරු අවස්ථාවක්. ඇය එහි අන්ධ වින්නඹු මාතාවගේ චරිතයක් කරනවා. එවැනි චරිතයක් කරන පළමු අවස්ථාව එය යි. ඇය එය ප්‍රචාරය වන තෙක් හරි ආසාවෙන් බලන් ඉන්නවා. එවැනි චරිතයක් හැරුණම වෙනත් කළ යුතු යැ’ යි මම සිතන චරිත නැහැ. ඇයට තව දුරටත් රඟපෑමට අවැසි චරිත පිළිබඳ ව හොඳින් ම දන්නේ ඇය. ඒ සඳහා ඇය සුවෙන් පසු වීම තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව.

ඔබේ ‘අකාස කුසුම්’ අධ්‍යක්ෂණ කාර්යයට ඇගෙන් ලැබුණු සහයෝගය කොහොම ද?

ප්‍රසන්න – ‘මාලිනිය’ නොමැතිනම්,‘ආකාස කුසුම්’ කියන සිනමා නිර්මාණය නැහැ. ඇයට මම මේ කතාව කියන්නේ 1992 වගේ කාලයක. මට මතකයයි, ඒ කතාව කියපු අවස්ථාවේ මාලනී අක්කා කිවුවා” ප්‍රසන්න මේක කියවද්දි ඇගේ හිරිගඩු පිපෙනවා. මිනිස්සු හිතයි මේ චිත්‍රපටයේ ඉන්නේ මම කියලා.”

ඒ වගෙම පළමු රූප රාමු පෙළ රූපගත කරද්දි ඇය කිව්වා මට මතකයි ‘මේක ලොකු බලාපොරොත්තුවක්’ කියලා. ඇගේ ඒ බලාපොරොත්තුව මම සඵල කරා. ඇය එහි ‘සන්ධ්‍යාරාණි’ චරිතය හරහා තුන්වතාවක් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා. දෙවරක් හොඳ ම නිළිය සම්මානය දිනාගත්තා.

ඇය ඒ සඳහා දුන්න සහයෝගය එක වාක්‍යකින් කියනවනම්, ‘Eliya Kazan’ නමැති ඇමරිකානු අධ්‍යක්ෂකවරයා කියනවා වගේ ,

“හොඳ නළු නිළියන් මුනිවරුන් වැන්න ඔවුන් නිර්ලෝභීව නොසඟවා සත්‍යම කතා කරයි”

අපි හැමෝම ජීවත් වෙන්නේ සත්‍ය අර්ධයක් සඟවගෙන. නමුත් හොඳ නළුවෙක් නිළියක් සියලු සත්‍යය ප්‍රේක්ෂකයා ඉදිරියේ තබනවා. මාලිනිය ‘ආකාස කුසුම්’ හරහා සිදු කළෙත් එයයි.

සංවාදය

සඳුනි දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT