හතරදෙනාම සූරයෝ චිත්‍රපටයෙන් විනෝදාත්මක සිනමාවේ පෙම්වතියට මනුෂ්‍යත්වය ආරෝපණය කළ ඇය එයට සමගාමීව නිරූපණය කළ නිධානයේ අයිරින්ගේ චරිතයෙන් මනුෂ්‍යත්වයේ විවිධ අහුමුළු ස්පර්ශ කරමින්, දෛවයේ කුරිරු ඉරණමේ ගොදුරක් බවට පත්වූ අවිහිංසක තරුණියකගේ චරිතය පරමාදර්ශී රූපණයක් බවට පත්කළාය.
මාලිනී මෙරට සිනමාවේ ජීවමාන පුරාවෘත්තයයි. ඇය මෙරට අසමාන රූපණවේදිනියයි. ආසියාවේ වුව ඇය හා සමතලයක පවතින රූපණවේදිනීන් සිටී යැයි නොසිතමි. ඇය ජාත්‍යන්තර තලයේ මානයෙන් අගය කළ යුතු රූපණවේදිනියකි. ඇය අසවල් ජාත්‍යන්තර රූපණවේදිනියට සමානයැයි කීමේ කාලය ඉකුත්ව ගොසිනි. දැන් පැමිණ ඇත්තේ වෙනත් නිළියක් ඇය පරමාදර්ශයක් ලෙස ගෙන සමාන කිරීමේ අවධියකට යි.
මාලිනීගේ රූපණ පෙළහර හුදු ආකස්මිකව බිහිවූවක් නොවේ. ඇය මෙරට සෙසු පැරණි ප්‍රශස්ත රූපණවේදීන් මෙන්ම සිනමා විද්‍යායතනයකින් බිහිවූ නිළියක නොවේ. එහෙත් වර්තමානය වනවිට ඇයම සිනමා විශ්වවිද්‍යාලයක් බවට පත්ව සිටී. ඇය රූපණයට පිවිසෙන්නේ උතුරා යන ප්‍රතිභාවයකින් පමණක් සන්නද්ධ වෙමිනි. කියවීම, නැරඹීම, හැදෑරීම, කැපවීම යන පාඨමාලාවන් ඇසුරේ මෙම ප්‍රතිභාව පෝෂණය විය. එමෙන්ම ඇය හොඳම අධ්‍යාපනය ලබන්නේ ජීවිතය නමැති විශ්වවිද්‍යාලයෙනි. ඇගේ ජීවිතය ද අටලෝදහමින් මනාව පන්නරය ලැබූවකි. සතුට, දුක, නින්දා ප්‍රශංසා, ලාභ, අලාභ ඇගේ ජීවිතයට ආගන්තුක වූයේ නැත. වෘත්තීය ජීවිතයේදී ද ඇයට මල්පොකුරු මෙන්ම ගල්වර්ෂා ද නොමඳව ලැබිණි. මේ සියල්ල දරාගෙන නොසැලී සිටින්නට මෙන්ම එය තම ජීවිත අත්දැකීම් බවට පත්කරගන්නට ද ඇය සමත් වූවා ය. ඇය මෙරට ජනතාවගේ දියණිය, සොයුරිය, පෙම්වතිය, මව වර්තමානයේ නම් මිත්තණිය බවට පත්වීමේ භාග්‍යය හිමිකරගන්නේ ඔවුන්ගේ ජීවිතය තිරයේ ප්‍රතීයමාන කළ හෙයිනි. ඇය සිංහල ස්ත්‍රිය පිළිබඳ ප්‍රතිරූපය ප්‍රතිනිර්මාණය කළ, එමෙන්ම එය ජාත්‍යන්තරයට ගෙනගිය ප්‍රමුඛ රූපණවේදිනියයි. ඇය මෙම ස්ත්‍රිය මනුෂ්‍යත්වයේ පොදු ධර්මතාවන්ගෙන් කැටයම් කර ජගත් සිනමාව තුළ ද එය සන්නාමයක් බවට පත්කළා ය.
දුහුවිලි මතින් බිහිව ජාතියක අඩයාලම බවට පත්වීමේ කාර්යය මඟින් ඇය ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම බඳු විශිෂ්ටයන් හා සමතලයක රැඳී සිටින්නී ය. මාලිනී, රූපණයට පිවිසෙන්නේ ළාබාල දැරියක ලෙස වේදිකාවෙනි. ඒ තුළද හොඳම නිළිය සම්මානයට පවා පාත්‍රෙවමින් තම නාමය එහි සටහන් කිරීමට සමත් වූවා ය. ඇය රඟපෑ වේදිකා නාට්‍ය එවක අපේ පළාත්වල වේදිකාගත නොවූ හෙයින් මේ අංකුර ප්‍රතිභාව විඳීමේ අවකාශය අපට අහිමි විය. සිනමාවේදී ඇය අයත්වන්නේ අපගේ පරම්පරාවටයි. ඇගේ පිවිසීම, දුෂ්කර තීර්ථයාත්‍රාව, විශිෂ්ටත්වයේ ජයටැඹ වෙත ළඟාවීම අපි අත්දුටුවෙමු. ඇය පිවිසෙන විට දක්ෂ හා ජනප්‍රිය නිළියන්ගේ කිසිදු අඩුවක් තිබුෙණ් නැත. සාරවත් චරිත නිරූපණයේදී පුණ්‍යා හීන්දෙණිය, අනුලා කරුණාතිලක හා අයිරාංගණි සේරසිංහ ද විනෝදාත්මක චිත්‍රපටවල ප්‍රේමවන්තියන්ගේ චරිත නිරූපණයේදී ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි හා විජිත මල්ලිකා ද පෙරමුණේ සිටියහ. ඔවුන් දිනා තිබූ ජනාදරය කෙතෙක් ද යත් නවක නිළියකට එහි පවතින්නට කිසිදු අවකාශයක් තිබුණේ නැත. ඇය මේ දුෂ්කර කාලය ගත කළ ආකාරය හා ජයගත් ආකාරය වෙනම ග්‍රන්ථයකට නිමිති විය යුත්තකි. ඇය සතුව තිබුණේ ප්‍රතිභාව හා නොපසුබස්නා වීර්යය පමණි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම බඳු විශිෂ්ට හා කෘතහස්ත සිනමාචාර්යවරුන්ගේ මඟපෙන්වීම ද ඒ හා එක්විය.
මාලිනීගේ රූපණ ව්‍යායාමයේ බරසාර බව එක් නිදර්ශනයකින් සනාථ කළ හැකියි. ඇය රඟපෑ චිත්‍රපට සමූහය අතරින් එක් දුර්වල රූපණයක් උපුටා දැක්විය හැකි ද? මේ ඈ සතුවු නිසඟ කුසලතාවේ ප්‍රතිඵලයයි. මෙරට මුල් මතින් පැන නොනැගී, හුදු අභව්‍ය තලයේ සීමාවේ සිටි චරිත ඈ අතින් ප්‍රතිනිර්මාණය වූවේ මෙරට ගැහැනියගේ හරස්කඩක් ලෙසිනි. එපමණකට අප්‍රාණික චරිතයකට ලේ, මස් හා ප්‍රාණය ලබාදීමේ සුවිශේෂ සමත් බවක් ඈ සතු විය. ඇය මල් ගස් වටේ දුව පනිමින් නැටුව ද අපට දැනුණේ මේ අපේම ජීවිතය බවයි. හතරදෙනාම සූරයෝ චිත්‍රපටයෙන් විනෝදාත්මක සිනමාවේ පෙම්වතියට මනුෂ්‍යත්වය ආරෝපණය කළ ඇය එයට සමගාමීව නිරූපණය කළ නිධානයේ අයිරින්ගේ චරිතයෙන් මනුෂ්‍යත්වයේ විවිධ අහුමුළු ස්පර්ශ කරමින්, දෛවයේ කුරිරු ඉරණමේ ගොදුරක් බවට පත්වූ අවිහිංසක තරුණියකගේ චරිතය පරමාදර්ශී රූපණයක් බවට පත්කළාය.
අයිරින් අප හද තුළ දැනවූ විවිධ භාව, තවමත් අපේ ජීවිතවලින් බැහැරව ගොස් නැත.
මේ ද්වන්ද් චරිත නිරූපණ විලාසය ඇගේ රූපණ ජීවිතය පුරාම නොබිඳී වර්ධනය වනු දැකිය හැකි විය. සරල චරිතයකට මනුෂ්‍යත්වයේ හැඩතල එන්නත් කළ ඇය හදවතට නැඹුරු ආත්මීය විලාසයන් සහිත චරිතවලදී සාත්වික අභිනව එහි උපරිම තලය දක්වා ගෙනයාමට සමත් වූවාය. “නිධානය, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සිරිපාල හා රන්මැණිකා, බැද්දේගම, සොල්දාදු උන්නැහේ, ඉන්දුට මල් මිටක්, ආරාධනා, සිරිමැඳුර, වෑකන්ද වලව්ව” පමණට ම “දියමන්ති, සංගීතා, අපේක්ෂා, හිඟනකොල්ලා, රක්තා, සත්වෙනි දවස, මිහිදුම් සිහින” චිත්‍රපට ද හතර දෙනාම සූරයෝ , සුහද පැතුම, තුෂාරා, සුසී හා කවුද රජා” චිත්‍රපට ද එක් ලෙසින් අපේ මතකයේ නිදන්ගතව තිබෙන්නේ මේ රූපණ ප්‍රාතිහාර්ය නිසා ය. මේ රඟපෑම් කිසිදු රූපණ න්‍යායකට හසුකර ගැනීම දුෂ්කරය.
ස්වාභාවික රූපණ රීතිය ද තත්විධ රූපණ රීතිය ද මේ කිසිවක් මාලිනීගේ චරිත ප්‍රතිනිර්මාණවලට අදාළ නොවේ. ඇගේ තිර ප්‍රතිභාව මනරම්ය. ඇගේ මුහුණේ, සිරුරේ ඕනෑම පැතිකඩක් රූපගෝචරය. සියුම් ඉංගිතයකින් භාව රැසක් ප්‍රක්ෂේපණය කිරීමේ අපූර්ව දක්ෂතාවක් ඇය සතුවිය. ඇය තිරයේ පෙනී සිටින විට අනෙක් චරිතයක් වෙත ප්‍රේක්ෂක ඇස යොමුවනුයේ කලාතුරකිනි. මේ මානයෙන් ද ඇය, ගාමිණී හා ජෝ. සමඟ සමතලයක සිටින රූපණවේදිනියයි. ඇය ද ඔවුන් මෙන්ම අනෙක් නිළියන් ගෙන් චිත්‍රපට සොරාගැනීමේ සමතියක වූවාය. ඒ ඔවුන් අසීරුවට පත්කිරීමෙන් නොව තම තිර ප්‍රතිභාව නිවැරැදිව හා සියුම්ව භාවිත කිරීමේ ශක්‍යතාවෙනි. ඇය මෙම විශිෂ්ටතාව නැවත පළකරනු ඇගේ නවතම චරිත ප්‍රතිනිර්මාණය රැගත් ආරියවංශ සහෝදරයන්ගේ “මලකි දුවේ නුඹ” චිත්‍රපටයෙන් ද දැකගත හැකියි. ඇය රඟපාන්නේ මිත්තණියකගේ කෙටි චරිතයකි. ඉතා ප්‍රශස්ත රූපණ සමූහයක් අතරට සෙමෙන් පිවිසෙන ඇය, අවසානය වනවිට චිත්‍රපටය මුළුමනින් තම ආධිපත්‍යයට නතුකර ගන්නී ය.
මාලිනී අපේ ජාතික වස්තුවකි. ජාතික උරුමයකි. අංකුර නළු නිළියන්ට හැදෑරීමට තිබෙන හොඳම විශ්ව විද්‍යාලයකි. ඇය වේදිකාවේ සිටි අවසන් අදියරේදී හෝ සිනමාවට පිවිසි මුල් අදියරේදී ඇගේ නාට්‍යාචාර්යවරයකු වූ සුමන ආලෝක බණ්ඩාර පළකළ අනාවැකියකින් ඇය පිළිබඳ මෙම කෙටි විවරණය අවසන් කිරීමට කැමැත්තෙමි. “අපේ රට ශ්‍රේෂ්ඨ මිනිස්සු ජීවත් වෙච්ච රටක්. ඒක අපේ නටබුන් නගරවලිනුත් නටබුන් වෙච්ච සංස්කෘතියෙනුත් පේන්ඩ තිබෙනවා. අපි ඒ ශ්‍රේෂ්ඨ මුතුන්මිත්තන්ගේ දුවාදරුවෝ. ඒ හින්ද අපට පුළුවන් වෙන්ඩ ඕනෑ. ඒ
මුතුන්මිත්තන්ගේ ශ්‍රේෂ්ඨත්වය රැකල දෙන්ඩ. අපි අතර ඉන්න ඔයාට ඒ වාසනාව, මහිමතාව තියෙනවා. ඒ හින්ද ඒ මහිමතාව ලෝකයට පෙන්නලා මාලිනී කියන්නේ මුළු ලෝකයම දොඩමලු කරන පුරාවෘත්තයක් බවට පත්කරන්ඩ උත්සාහ ගන්ඩ” (සුමන මතක)
ගාමිණී වේරගම