ශිල්පියාගේ රංගභාවිතාව පිළිබඳ සංක්ෂිප්තව හෝ ගැඹුරින් හෝ විග්‍රහ කිරීමට යෙදවිය හැකි හොඳ අවස්ථාවක් අපේ සිනමා සංස්කෘතියේ හමුවෙයි. එනම් සම්මාන උළෙලවලදී නළු නිළියන් වෙනුවෙන් ලියැවෙන හේතු පාඨයයි. උක්ත නළුවා හෝ නිළිය හෝ සම්මාන ලබන්නේ කවර රංග ව්‍යායාමයක යෙදුණු නිසාදැයි පෘථග්ජනයින්ට දැන ගැනීමට ඇති හොඳම අවස්ථාව එයයි.
එහෙත් පසුගිය දශක දෙක තුනක කාලයක් පුරා අප රටෙහි සම්මාන උළෙලවල ලියැවී ඇති රංගන හේතු පාඨ ගෙන බලන්න. ඒවායේ විග්‍රහ වන්නේ රංග කාර්යය නොවෙයි. ඒවායේ විග්‍රහ වන්නේ අදාළ චරිත පිළිබඳ හැඳින්වීමකි. අසවල් අසවල් චරිත ලක්ෂණ ඇති අසවල් අසවල් සුවිශේෂතා ඇති අසවල් චරිතය “හොඳින් නිරූපණය කිරීම උදෙසා” මේ නළු නිළිය සම්මාන ලබන බව නොවේද, ඒ හේතු පාඨවල සඳහන් වන්නේ?
ඒ හේතු පාඨය ශිල්පියා වෙනුවෙන්ද, චරිතය වෙනුවෙන්ද කියා අපට දැනගන්නට දෙවතාවක් කියවා බැලීමට අවශ්‍ය නැත. එහෙයින් හේතු පාඨය ලියැවෙන්නේ පිටපතේ ඇති චරිතය පිළිබඳ මිසක් එය නිරූපණය කළ ශිල්පියා වෙනුවෙන් නොවන්නේ ය. ඒ වූ චරිතය නිරූපණය කිරීම සඳහා ශිල්පියා හෝ ශිල්පිණිය හෝ යොදාගත් රංග සාධක කවරේද? ඒවා කොතෙක් සාධනීය වී තිබේද? ශිල්පීය විභව, අනුභාව, ව්‍යභිචාරීභාව සංයෝගයේදී රස නිෂ්පත්තිය සඳහා ඒවා කොතෙක් සූක්ෂ්ම වී ඇත්ද? මේ විෂයන් විනිවිදින හේතු පාඨයක් අප කවරදාකවත් අසා හෝ කියවා ඇත්ද?
මාලිීනී ෆොන්සේකාගෙන් හෙළ සිනමාවට ලැබී ඇති ඉහළම දායාදය නම් සිනමාව නැමති “මායාව“ යථාර්ථයක් බවට පත්කරන්නට ඇගේ ඉංගිත භාවිතාවේ තිබූ ප්‍රබලතාවයි. කතන්තරය යනු මායාවකි. එය කතාකරුවකුගේ මායා රූපයයි. මේ මායා රූපය ස්වභාව ධර්මයේ සීමා තුළ රැඳවිය හැක්කේ සාර්ථක රංගධාරියෙකුට පමණි. මාලිනී ෆොන්සේකාගේ රංගන භාවිතාව නිවරදි විද්‍යාත්මක විචාරයකට භාජනය කළහොත් ඇය රැඳෙන්නේ “භාව වින්දනය” නම් දුර්ලභ රේඛාව තුළ යයි විචාරකයකුට හැඟී යනු ඇත. එය ඇගේ සමස්ත සිරුරම දැඩි සංවේදිතාවකට මුවහත් කරගෙන සිටී. මේ කාය යාන්ත්‍රණය තුළ ඇය සංවේදනා මුහදාහරී. ඇය කරනු ලබන්නේ භූමිකාව සතු භාව ගැඹුරින් වින්දනය කිරීම පමණි. සංවේදිභාව හතර ඔස්සේ ඇය තමන් විඳි සංජානනා ගමන් කරවයි.
(ජැක්සන් ඇන්තනී, මාලිනියේ දශක හතරක රංගන අභිනන්දය, පිටුව 230-231)