Wednesday, March 26, 2025
Home » ශ්‍රී ලංකා-තායිලන්ත පාපන්දු ගැටුම අද

ශ්‍රී ලංකා-තායිලන්ත පාපන්දු ගැටුම අද

-බැංකොක් රජමංගල ක්‍රීඩාංගණයේදී

by sachintha
March 25, 2025 4:02 pm 0 comment

ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තරගය තායිලන්තයේ බැංකොක් නුවර රජමංගල ජාතික ක්‍රීඩාංගණයේදී අද පස්වරු 6ට ආරම්භ වෙයි.

මේ තරගාවලියට පෙරහුරුවක් ලෙස ලාඕසය සමඟ පැවති තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දින 4ක් ගතවෙද්දී තායිලන්තයට එරෙහිව පිටියට පිවිසීම විශේෂත්වයකි.

තායිලන්තය හා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු පිටියේදී 7 වතාවක් මුණ ගැසී ඇති අතර, එම සියලු අවස්ථාවලදී තායිලන්තය ජයග්‍රහණය කොට ඇත. 2023දී ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අවසන්වරට මුණ ගැසුණු අතර, එහිදී තායිලන්තය ගෝල් 2-0කින් ජයග්‍රහණය කළේය.

මේ වන විට තායිලන්තය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 97 වැනි ස්ථානයේ සිටින අතර, ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 200 වැනි ස්ථානයට පැමිණ ඇත.

2027 වසරේදී සවුදි අරාබියේ පැවැත්වෙන ආසියානු පාපන්දු කුසලානයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු සහිතව ශ්‍රී ලංකාව හා තායිලන්තය යන කණ්ඩායම් දෙකම තරග බිමට පිවිසෙති.

පළපුරුදු ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසෙන අතර, ප්‍රධාන පුහුණුකරු අබ්දුල්ලා අල්මුටෙයිරි මහතා යටතේ පුහුණුව ලබමින් සිටියි.

පසුගිය වසරේ පුහුණුකරු ලෙස වැඩ භාරගත් අල්මුටයිරි මහතා, ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසු නැවත ගොඩනැඟීම සඳහා කටයුතු කරමින් සිටින බව ඊයේ පැවති මාධ්‍ය හමු‍වේදී පැවසීය.

ජර්මනිය පදනම් කරගත් ක්ලෝඩියෝ කම්මර්ක්නෙක්ට් සහ ඔස්ට්‍රේලියාවේ වේඩ් ඩෙකර් ඇතුළු විදේශීය ක්‍රීඩකයන් කිහිප දෙනකු සංචිතයට එක්කර ඇති අතර, කවීෂ් ලක්ප්‍රිය සහ මොහොමඩ් මුර්සිත් අතිරේක ගෝල් රකින්නන් වේ.

ශ්‍රී ලංකා පාපන්දු සංචිතය

සුජාන් පෙරේරා (නායක – ගෝල් කීපර්), චලන චමීර, මොහොමඩ් අමාන්, කවීෂ් ලක්ප්‍රිය (ගෝල් කීපර්), මොහොමඩ් මුර්ෂිත් (ගෝල් කීපර්), මොහොමඩ් හස්මීර්, රිෆ්කාන් මොහොමඩ්, මොහොමඩ් තිල්හාම්, අන්ජුන් රාජේන්ද්‍රම්, වසීම් රාසික්, ඔලිවර් ලොට්, භාරත් සුරේෂ්, ආදවන් රාජ්මෝහන්, ලියොන් පෙරේරා, වේඩ් ඩෙකර්, ජේසන් තයාපරන්, ජැක් හින්ගර්ට්, විලියම් තෝමසන්, ක්ලෝඩියෝ කම්මර්ක්නෙක්ට්, සූම් ඩුරන්ට්, ගර්මි පෙරේරා, හර්ෂා ප්‍රනාන්දු, ගැරට් කෙලී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT