Wednesday, March 26, 2025
Home » රත්නපුරයේ ශාසනාරක්ෂක මණ්ඩලවල සභාපතිවරු සහ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක්

රත්නපුරයේ ශාසනාරක්ෂක මණ්ඩලවල සභාපතිවරු සහ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක්

by sachintha
March 25, 2025 4:39 pm 0 comment

රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල සභාපතිවරු සහ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් කහවත්ත පුරාණ විහාරස්ථානයේ දී පසුගිය 22 වැනිදා සාකච්ඡාවක් පැවැත්වූහ.

බෞද්ධ පුනරුදයක් තුළින් සමාජයේ යහපැවැත්ම වර්ධනය කරගැනීම, ප්‍රදේශයේ සියලු ස්වාමීන් වහන්සේලාගේ ආගමික හා ශාසනික කර්තව්‍යයන් සඳහා උපරිම දායකත්වය සැපයීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බව රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති කහවත්තේ සේනින්ද නාහිමිපාණන් වහන්සේ පැවසූහ.

පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති බෙංගමුවේ ධම්මදින්න නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී උන්වහන්සේ පැවසුවේ 50 දශකයෙන් පසු බුද්ධශාසන හා ආගමික කටයුතු සම්බන්ධයෙන් බිහිවූ අනතිමානී ගුණයෙන් යුතු හොඳම අමාත්‍යවරයා ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බවයි. ඔහු දැනුමෙන් පරිපූර්ණ අමාත්‍යවරයකු මෙන්ම තම විෂය මනාව හඳුනාගෙන කටයුතු කිරීම ගැන සතුටු වෙන බවය. රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති කහවත්තේ සේනින්ද නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම සාකච්ඡාව සඳහා වැඩමකොට සිටියහ.

රත්නපුර දිසා විශේෂ ලසන්ත නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT